Skip to main content

සද්ධර්මරත්නාවලිය විචාරය-08

සද්ධර්මරත්නාවලිය විචාරය 

රාගය, ආදරය, සෙනෙහ, මසුරුකම ආදී සුගුණ හා දුර්ගුණ ප්‍රකාශ කිරීම ධර්මසේන හිමියන්ගේ අභිප්‍රායයි. නියමිත කතා දෙක ඇසුරෙන් උදාහරණ සහිතව පැහැදිලි කරන්න.

සිංහල සාහිත්‍යය නමැති සූර්යයා ප්‍රධාන කොට ගෙන එයින් ආලෝකය ලබන්නා වූ සෞම්‍ය චන්ද්‍රයා මෙන් සද්ධර්මරත්නාවලිය ද සද්ධර්මයට තෝතැන්නක් විය. සද්ධර්මරත්නාවලියෙන් වහනය වන්නාවූ සුගන්ධය මුළු සිංහල සාහිත්‍යම සුවඳවත් කරනු ඇත. දඹදෙණි යුගයේ ධර්මසේන හිමියන් විසින් රචිත මෙම අගනා ධර්ම රත්නයන්ගෙන් හෙබි කෘතිය සිංහල සාහිත්‍යයේ නවමු ලක්ෂණයක් සනිටුහන් කරන ලදී.

උක්ත කරුණු විචාරාත්මක ලෙසත් රසවින්දනාත්මක ලෙසත්, විමසා බලන කල්හි සද්ධර්මරත්නාවලිය රාගය, ආදරය, සෙනෙහස, මසුරුකම ආදී සුගුණ මෙන්ම දුර්ගුණයන්ද ප්‍රකාශ කොට ඇති බව මනාව පැහැදිලි වනු ඇත. එය ධර්මසේන හිමියන් සතුව පැවැති දක්ෂතාවයක් ලෙසින් දැක්වීම නිවැරැදි වනු ඇත. මේ පිළිබඳ අපට නියමිත මට්ටකුණ්ඩලී සහ කුණ්ඩලකේෂී යන කතා වස්තු තුළින් එකිනෙක විමසා බලමු.

සද්ධර්මරත්නාවලියෙහි එන කුණ්ඩලකේෂී කතා වස්තුව තුළින් ඉහත කරුණු සියල්ලක්ම පාහේ මනාව ඉස්මතු කර ඇත. මෙහිදී රාගය නිසාවෙන් අවසානයේ මිනිසා විනාශ මුඛයට ඇදී යන ආකාරය මනාව පිළිබිඹු වේ.

තවද ආදරයෙන් යුක්ත වන කුණ්ඩලකේසිය විසින් තම ප්‍රේමවන්තයාට මනාව ආදරය කරන නියාව මෙයින් පැහැදිලි වනු ඇත.

"තුමෝම ඕහට බත් මාළු පිසති. නාවති. ඉස සෝදවතී."

මේ ආකාරයේ වූ ආදර, දයාවක් කුණ්ඩලකේසිය තම සැමියා වෙත තිබූ අයුරු මෙම කතා පුවතෙන්, මනාව විග්‍රහ කරනු ඇත. එය සුගුණත්වය පිළිබිඹු කරන්නා වූ අවස්ථාවක් වුවද මෙම කතාංගය පුරාවටම දුර්ගුණයන්ද ප්‍රකාශ කරනු ලබන අවස්ථා බොහෝ ප්‍රමාණයක් දක්වන්නට පුළුවන.

"මා එවක් පටන් පක්ෂපාතීව සිටිමි."

තම ස්වාමියා කෙරෙහි වූ සෙනෙහස ආදරය කරුණාව නිසාවෙන් කුණ්ඩලකේසිය ඔහුට පක්ෂපාතීව කටයුතු කරනු ලබන නියාවක් අපට කතාංගය රස වින්දනය කරනු ලබන විට මනාව පැහැදිලියි වේ.

"පිදේණිය පුදන්නැයි" කුණ්ඩලකේසිය ප්‍රකාශ කරන අවස්ථාවෙහි ස්වාමියා කතා නොකර සිටීමත් ඉන්පසු තම බිරිඳට අයත් වටිනා ද්‍රව්‍යයන් ආභරණ රැගෙන පලා යාමට තරම් සොරාගේ සිත මසුරුකමින් පිරී පැවති බවත් මෙම කතා වස්තුව රස විඳිනු ලබන අධ්‍යයනය කරනු ලබන ඕනෑම සහෘදකයෙකුට සිත් වන කරුණකි.

උක්ත කරුණු තුළින් කුණ්ඩලකේෂී කතා වස්තුවෙහි රාගය, ආදරය, සෙනෙහස, මසුරුකම ආදී සුගුණ මෙන්ම දුර්ගුණද මනාව පිළිබිඹු කරන බව පැහැදිලි වනු නොඅනුමානයි.

මේ ආකාරයෙන්ම සද්ධර්මරත්නාවලියෙහි සඳහන් මට්ටකුණ්ඩලී කතා වස්තුවෙන්ද උක්ත කරුණු මනා ලෙස විද්‍යාමාන වන බව පැහැදිලි වනු ඇත. ඒ පිළිබඳ වද අප විමසා බලමු.

"මාගේ වස්තුවට හානියක් නොවන යම් දෙයක් වෙතොත් එලෙසක් කරමි"

අදින්න පුබ්බක බමුණා ඉතා ලෝභී මිනිසෙක් ලෙසින් කතාවෙහි සඳහන් වනු ඇත. තම පුත්‍රයාට අවැසි බෙහෙත් ලබා නොදීමට කටයුතු කරනු ලැබූ මෙම අදින්න පුබ්බකයන් විසින් තම පුත්‍රයාව මරණයට පත් කළා යැයි ප්‍රකාශ කිරීම නිවැරදි වනු ඇත.

මේ ආකාරයට මසුරුකම ප්‍රධාන වශයෙන් ඉස්මතු කරනු ලබන මෙම කතා පුවතෙහි ආදරය ප්‍රේමය යන කොටසක් නැතුවාම නොවෙයි. ඉතාමත් අලංකාර ලෙසින් ඒ පිළිබඳව නිර්මාණකරු තම සහෘද පාඨකයන්ට කරුණු දක්වනු ලබයි.

"තොපගේ පුතණුවන්ගේ සැටි තෙවෙත් නපුර..."

මවකගේ ආදරය මෙතෙකැයි කියා අප කිසිවෙකුටත් කිව නොහැකිය. ඒ තරම්ම උසස් ගණයේ දෙයකි. මෙම අඳින්න පුබ්බකගේ බැමිණියද තම පුත් මට්ටකුණ්ඩලීට ප්‍රාණය හා සමාන ලෙසින් ආලය කරන්නට ඇතැයි අපට සිටිය හැකිය. කතාවෙහි සඳහන් වන ආකාරයට එය සුගුණයක් ලෙසින් දක්වාලීම නිවැරදි වනු ඇත.

"අනේ එක පුතනුවනි.."

තම පුත්‍රයා මිය යාමෙන් අනතුරුව දරු සෙනෙහස පහළවූ අදින්න පුබ්බකයන් තම පුත්‍රයාගේ වියෝය දරා ගත නොහැකිව ඔහු වළදමා ඇති සොහොනට ගොස් හැඬීම තුළින් මනාව පැහැදිලි වනුයේ මෙම කෘතියෙහි ඇතුළත් සාරය තුළට ආදරය සෙනෙහස යන සුගුණ මනාව ඇතුළත් වූ බව නොවේද?

"ආභරණ කරවන්නෙකු ගෙනාවොත් කර්මාන්තය නිමනතෙක් බතුත් දුන මැනව..."

"මංකුලීත් දුන මැනැව."

"අවසන මිලක් දුන මැනව"

මේ ආකාරයෙන් වූ මසුරුකම තම ජීවිතය විනාසයකට පත් කිරීමට තරම් සමත් වන බව මෙම කතා පුවත අවසානයේ අපට මනාව විස්තර කර දෙනු ලබයි. ලෝක ධර්මතාවය මනාව හෙළිදරව් වන ඉතා අග්‍ර ගණයේ කෘතියක් ලෙසින් මෙය අගය කළ හැක.

මේ ආකාරයට සද්ධර්මරත්නාවලියේ එන මට්ටකුණ්ඩලී කතා වස්තුව තුළින්ද රාගය ආදරය සෙනෙහස මසුරුකම ආදී සුගුණයන් මෙන්ම දුර්ගුණයන් ප්‍රකාශ කිරීමට කටයුතු සිදු කොට ඇත.

උක්ත කරුණු දෙස මනාව බලන කල්හි සද්ධර්මරත්නාවලියෙහි එන මට්ටකුණ්ඩලී කතා වස්තුව හා කුණ්ඩලකේෂී කතා වස්තුව තුළින් රාගය ආදරය සෙනෙහස මසුරුකම ආදි වූ සුගුණ මෙන්ම දුර්ගුණයන්ද ඉතාමත් අලංකාරවත් ලෙසින් පාඨකයා වෙත ඉදිරිපත් කරලීමට ධර්මසේන හිමියන් සමත් වූ බව මනාව ප්‍රත්‍යක්ෂ වේ.

- දසුනි මහවත්ත - 

Comments