Skip to main content

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ගැන රචනාව

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි

දකුණු පළාතේ බලපිටියේ මොහොට්ටිවත්ත නම් ග්‍රාමයේ දී, අසනේරිස් මැන්දිස් නම් තැනැත්තාට දාව සීනිගම කලුදුර මිල්ඩෝ ද සිල්වා මැතිණිය විසින් මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද හිමියන්ට මෙලොව එළිය දැකීමේ භාග්‍ය හිමි කර දුන්නේ මිගෙල් මැන්දිස් යන ගිහි නමෙනි. ඒ 1823 වසරේ පෙබරවාරි 09 වැනිදා ය.

ගිහි කළ බලපිටිය සුභද්‍රාරාමාධිපති වූ බලපිටියේ ගුණරතන ස්වාමීන් වහන්සේගෙන් අධ්‍යාපනය හැදෑරූ මිගෙල් මැන්දිස් දොළොස් වස සපිරීමේදී ප්‍රථම වරට පැවිදි දිවියට ඇතුලත් වූයේ මොහොට්ටිවත්තේ ගුණනාන්නද හිමි යන නාමයෙනි. මේ හිමියන්ගේ නාමය බොහෝ දැන් වලදී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ලෙස ද හදුන්වනු දැකිය හැකි වේ. පැවිදි දිවිය තුළදී ද බලපිටියේ ගුණරතන ස්වාමීන් වහන්සේගෙන් සහ තෙලිකඩ පියරතන ස්වාමීන් වහන්සේගෙන් තම අධ්‍යාපන කටයුතු හදාරා ඇත.

කෙසේ නමුත් පසු කළෙක මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් නැවත වරක් උපැවිදි වන්නේ තම පියාගෙ අභාවත් සමග මව රැකබලා ගැනීමේ අවශ්‍යතාව මතු වූ බැවිනි. පසුව නැවත වරක් පැවිදිව 1874 දී උපසම්පදාව ලබා ඇත. දෙවන වර පැවිද්දෙන් පසුව අධ්‍යාපනය හදාරා ඇත්තේ තෙලිකඩ සෝනුත්තර ස්වාමීන් වහන්සේ යටතේ ය. එහිදී උන් වහන්සේ සිංහල, පාලි, සංස්කෘත භාෂා මෙන්ම ඉංග්‍රීසි බස ද ඉගෙන ගත්හ. 

ඊට අමතරව උන් වහන්සේ කිතුනු දහම හා බයිබලය පිළිබදව ද හදාරා ඇත. පසු කළෙක පානදුරා වාදය වැනි බුදු දහමේ හා කිතුනු දහමේ අන්තර්ගතයන් අතර පැවති විශාල විවාදයන්ගෙන් බුදු දහමේ උත්තරීතර භාවය පෙන්වීමට උන් වහන්සේ සමත් වූයේ එම බයිබලය හා කිතුනු දහම පිළිබද තිබූ හසල දැනුම නිසාවෙනි. හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා බුදු දහම පිළිබද පැහැදී ලක් දිවට පැමිණෙන්නේද මෙම විවාදයෙන් ලැබූ ජය විදෙස් පුවත් වල පල වීම නිසාවෙනි. ගුණානන්ද හිමිගේ මෙම චතුර බව නිසාම 'වාදිභසිංහ' යන නාමයෙන් ද හදුන්වා ඇත.

ඊට අමතරව උන් වහන්සේ බුද්ධ ශාසනයේ සහ සිංහල ජාතියේ චිරස්තතිය උදෙසා බොහෝ දේ සිදුකර ඇත. ඉංග්‍රීසි ආණ්ඩුවේ බෞද්ධ විරෝධී ක්‍රියා වලට සැම විටම එරෙහි වූ ගුණානන්ද හිමියන් 'බෝධිරාජ සමිතිය' නම් සමිතියක් පිහිටුවා ඉංග්‍රීසි ආණ්ඩුව විසින් කපා දැමූ බෝ ගස් පිහිටි සෑම තැනකම නව බෝ පැල රෝපණය කළහ. එසේ රෝපණය කල බෝධීන් වහන්සේලා මහරගම,  නුගේගොඩ,  දෙහිවල, කොටහේන ආදී නගර වල අදටත් දැකිය හැකිය.

එමෙන්ම ක්‍රිස්තියානි පූජකවරුන් ප්‍රචාරය කරන බුදු දහම පිළිබද අසත්‍ය මැඩලීමට රට පුරා ධර්ම දේශනා පැවැත්වීමත්, ක්‍රිස්තියානි ආගමිකයන් පතුරන වැරදි මත නිවැරදි කිරීම සදහා "දුර්ලබ්ධි විනෝදනිය" , "ක්‍රිස්තියානි වාද", "විසාතනිය", "සත්‍ය මාර්ගය", "රිවිරැස" ආදී පොත් පත් ද රචනා කළහ. ඊට අමතරව රටපුරා බෞද්ධ පාසල් ගණනාවක් විවෘත කිරීමට ඕල්කට්තුමන්ට සහය වූයේ ද මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපානන් ය.

එලෙස සිංහල ජාතියේත් බුද්ධ ශාසනයේ ත් උන්නතිය උදෙසා කැප වූ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් හැට හත් විය සපුරන 1890 වසරේ සැප්තැම්බර් 21 වන දින අපවත් වූයේ අප ජාතිය හා ආගම රැක ගැනීම කෙරෙහි චතුර බවින්, අධිෂ්ඨානශීලී බවින් හා හසල දැනුමෙන් යුත් බුද්ධ පුත්‍රයන්ගේ අවශ්‍යතාවය මනාව මතු කරමිනි.

- ආලෝකා සයුරංගි -

Comments