Skip to main content

පොල් හොරා



පොල් හොරා

"පුතේ දිනෙත්... තේ ඩින්ග බීලා ලෑස්ති වුනා නම් හොදයි නේද දැන්" 

 දිනෙත්ගෙ දවල් කෑමට කිරි අල ටිකක් ඔතන ගමන් හිටපු ආච්චි කුස්සියේ ඉදන්ම කෑ ගැහුවා. 

" හරි හරි ආච්චී මන් ලෑස්ති වෙලත් ඉවරයි. අද ක්‍රීඩා සර් කිව්වා හරියටම 6.30 වෙනකොට පිට්ටනයට ඇවිත් ඉන්න කියලා" 

වෙනදටත් වැඩිය කලින් ලෑස්ති වෙලා ගෙදරින් එළියට බහින ගමන් දිනෙත් කිව්වා. " ඒ මොන එහෙකටද මයෙ පුතේ." 

"අනේ මන් දන්නෑ ආච්චියේ. මන් හිතන්නේ මේ පාර පළාත් තරග වලට යන්න ළමයි තෝරනවා." එහෙම කියපු දිනෙත් එක පිම්මට වැට පැනලා දිව්වේ හරිම උද්‍යෝගයෙන්.

" ආ මේ කෑම එක අරන් යන්න මයෙ පුතේ" ආච්චි අම්මා කෑ ගැහුවා. ඒ වෙනකොටත් සෑහෙන දුර ගිහින් තිබුණත් දිනෙත් ආපහු ඇවිත් කිරි අල පාර්සලේ අරගෙන ගියේ ආච්චිගෙ මහන්සිය අපතේ යවන්න බැරි හින්දයි.

දිනෙත් එයාගෙ ආච්චි එක්ක ජීවත් වෙන්නේ කටුමැටි වලින් හදපු පුංචි ගෙදරක. දිනෙත්ගේ අම්මයි තාත්තයි දිනෙත් පුංචි කාලෙම නැතිවෙලා තියෙන්නේ හදිසි අනතුරකින් කියල තමයි ආච්චි නම් කියන්නේ.

දිනෙත් පිට්ටනියට යන කොටත් ළමයින්ගේ කසු කුසුව. දිනෙත් කෙලින්ම ගියේ එයාගෙ හොදම යාලුවා වුන චලන ගාවට. යාලුවා දැක්ක ගමන් ඒ මූණත් හිනාවෙන් පිරිලා ගියේ සතුටටමයි.

ඔන්න ඉතින් යාලුවො එදිනෙදා විස්තර කතා කර කර ඉන්නකොටම ක්‍රීඩා සර් පිට්ටනියට ආවත් ක්‍රීඩා කරන්න ලෑස්ති පාටක් නම් තිබුනෙ නෑ. 

        " ළමයි අද මම ඔයාලට එන්න කිව්වේ විශේෂ කාරණයක් ගැන ඕගොල්ලන්ට කියන්න. කාරණය මේකයි, ලබන සතියෙ තියෙන පළාත් තරඟ වල දුර දිවීමේ ඉසව්වට අපේ පාසලෙන් '" චලන නිම්සරව අපි තෝරගෙන තියෙනවා. පුතාගෙ දක්ෂතාවය අපි මේ පළාතටම පෙන්වමු" ක්‍රීඩා සර් එහෙම කිව්වේ දිනෙත්ගේ හොදම යාලුවා චලනගේ පිටට තට්ටුවකුත් දාන ගමන්මයි.

" චලන පුතා ඉන්ටවල් එකේ ක්‍රීඩා කාමරේට ඇවිත් මාව හම්බෙන්න" එහෙම කියලා ක්‍රීඩා සර් ගියේ ලොකු පන්තිවල අයියලව අනිත් තරග වලට ලෑස්ති කරන්නයි.

උදේ වරුව ගොඩක් ඉක්මනට ගෙවිලා ගිහින් ඉන්ටවල් එකත් ආවා. චලන ක්‍රීඩා කාමරේට ගියේ ක්‍රීඩා සර්ව හම්බවෙන්න හිතාගෙන හරිම සතුටෙන්. ඒත් ආපහු එනකොට නම් ලොකු සතුටක් ඒ මූණෙ තිබුනෙ නෑ. " ඇයි චලන මොකෝ මේ මූණ එල්ලගෙන, මොකක්ද ප්‍රශ්නේ?" දිනෙත් පුදුමයෙන් ඇහුවා. 

"තරගෙට යන්න හැමදේම ලෑස්තියි දිනෙත්, හොද ක්‍රීඩා ඇදුමකුත් 11 වසරේ පැතුම් අයියා දෙන්නම් කිව්වා. ඒත්..." 

" ඒත් ඇයි චලන මොකක්ද ප්‍රශ්නේ" දිනෙත් ඇහුවා. 

" මේකයි දිනෙත් මේක පළාත් තරගයක්නේ එතනට හැමෝම සපත්තු දාගෙන ලස්සන හොද ක්‍රීඩා ඇදුම් ඇදගෙනනේ එන්නේ ඒත් මට තවමත් ක්‍රීඩා සපත්තු දෙකක් හොයාගන්න බැරි වුනා. ඉල්ලුවට කවුරුත්ම දුන්නෙ නෑ." චලන පිළිතුරු දුන්නේ හරිම දුකෙන්.

" අනේ මගේ ලගත් නෑනේ. තිබුනා නම් මන් අනිවාරෙන් දෙනවා. ඔයා දුකෙන් ඉන්න එපා චලන තව සතියක් තියෙයිනේ අපි සල්ලි හොයාගමු." චලන එයාගෙ යාලුවව සැනසුවා.

හැමෝම ඉස්කෝලෙ ඉවර වෙලා ගෙවල් වලට ගියා. දිනෙත් හවස් වරුවම කරේ ගෙදර පිල උඩ ඉදගෙන චලනට සපත්තු දෙකක් අරන් දෙන විදිය හිතන එකයි. ඔන්න එතකොටයි ආච්චිඅම්මා වැඩට ගිහින් ගෙට ගොඩ වුනේ. ආච්චි වැඩ කරන්නෙ ඉස්කෝලෙ ලොකු සර්ගෙ ගෙදර. ඒ ගෙදර කෑම බීම හදන්නේ දරුවව බලාගෙන ඉන්නේ දිනෙත්ගෙ ආච්චි, සෝමාවතී යි.

" මොකද මයෙ පුතේ අහස පොළොව ගැටලන්නද කල්පනාව" දිනෙත්ගේ බර කල්පනාව දැකපු ආච්චි ඇහුවා හිනා වෙවී. විස්තරේ කිව්වත් ආච්චි අම්මා ලගත් සල්ලි නැති බව දන්න හින්දම "මුකුත් නෑ අනේ" කියලා එතනින් බේරුන දිනෙත් දොළෙන් එගොඩහ සුමනසිරි මාමගෙ වත්තට දිව්වේ හිතට ආපු අදහස ක්‍රියාත්මක කරන්න හිතාගෙනයි.

සුමනසිරි මාමගේ පොල් වත්ත අක්කර ගානක පැතිරිලා තියෙන විශාල වත්තක්. පොල් වත්තෙ මුරකාරයා හවස් වෙනකොට හොදට සප්පායම් වෙන හින්දා ඒ ගැන බයකුත් නෑ. වත්තෙ තියෙන මඩුවෙන්ම ලොකු පෝර උර තුනක් ගත්ත දිනෙත් වත්ත පුරාම ඇවිදලා උර තුනම පිරෙව්වා. ඊට පස්සේ එක එක පාරට ඇදලා දාපු දිනෙත් ලොකු අප්පු සීයගෙ ට්‍රැක්ටරේ එනකන් බලාගෙන හිටියා.

" සීයේ මේ උර තුන හන්දියෙ කඩේට ගෙනිහින් දෙන්න බැරිද." දිනෙත් ඇහුවා. 

           " මොනාද කොලුවෝ ඔය මලුවල.. පොල් වගයක් නේදැ. කොහෙන්ද උඹට ඔව්වා? හොර පොල් එහෙම නෙවෙයි නොවැ?" 

" අනේ නෑ අප්පු සීයේ මේ සුමනසිරි මාමා තමයි කිව්වේ මේ ටික හන්දියෙ කඩේට දීලා සල්ලි අරන් එන්න කියලා" දිනෙත් කිව්වේ හොරේ අහුවෙයිද කියන දෙගිඩියාවත් හිතේ තියාගෙනයි. 

" හා හා එහෙනම් දාගනින්කො ඔය ටික ඉක්මනට එහෙනම්. මට සුනන්ගු වෙනවා."

පොල් ටික ට්‍රැක්ටරේට පටවගත්ත දිනෙත් හන්දියෙ කඩේට ගිහින් පොල් ටික බානකොටම සුමනසිරි මාමත් එතනට ආවේ ගිය සතියෙ පොල්වල සල්ලි ගන්නයි.

" කොලුවෝ. මෙහෙ වරෙන්, කොහෙන්ද උඹට මේ පොල් ? ඇත්ත කිව්වොතින් හොදයි. නැත්නම් ලොකු ඉස්කොලෙ මහත්තයට කියලා උඹේ අච්චි අම්මගෙ රස්සාවයි උඹේ ඉස්කෝලෙ ගමනයි දෙකම නතර කරලා දෙන්ට පුලුවන් මට"

සුමනසිරි මාමා සැරෙන් ඇහුවේ දිනෙත්ගේ කනකුත් අල්ලගෙනමයි." අනේ මාමේ මන් මේ කරන්නම දෙයක් නැති තැනයි මෙහෙම දෙයක් කරේ. මගෙ යාලුවට පලාත් තරග වලට යන්න සපත්තු දෙකක් ගන්න. බොරු නම් ලොකු සර්ගෙන් අහන්න. අනේ මාව අතාරින්න මාමේ. මන් ආයෙ හොර පොල් අහුලන්නෑ" දිනෙත් අඬ අඬ කිව්වා.

"යන්කො මාත් එක්කම ලොකු ඉස්කෝලෙ මහත්තයා ගාවට දෙකෙන් එකක් බේරගන්ඩ" එහෙම කියලා දිනෙත්ව සයිකලේ තියාගත්ත සුමනසිරි මාමා කෙලින්ම ගියේ ඉස්කෝලෙ ලොකු සර්ගෙ ගෙදරට.

අප්පු සීයගෙ මාර්ගෙන් පනිවිඩේ ආරන්චි වෙච්ච දිනෙත්ගෙ ආච්චිත් ලොකු සර්ගෙ ගෙදරට දුවගෙන ආවෙ හිතේ බයෙන්.

" ලොකු ඉස්කෝලෙ මහත්තයා......" සුමනසිරි මාමා කෑ ගැහුවා. 

            " මොකද මොකද මේ?" ලොකු සර් දුවගෙන ගේ ඉස්සරහට ආවේ සුමනසිරි මාමගේ කෑ ගැහිල්ලටයි.

" බලන්න ලොකු ඉස්කෝලෙ මහත්තයගෙ ඉස්කෝලෙ පොඩි උන්ගේ වැඩ, මගේ වත්තෙන් හොර පොල් අහුල්ලා ඒ මදිවට තව බොරුත් කියනවා. මොකක් හරි ලොකු තරගෙකට යන්න අපේ නැනෝ අක්කගෙ ලමයා තේරිලා ඉන්නවයි කියන්නේ ඇත්තද අපේ ලොකු මහත්තයා?"

" ආ ඔව් ඒ ළමයා තමයි මේ පාර පළාත් තරඟ වලට යන්න තේරුනේ. කලබල නොවී කාරණේ කිව්ව නම් සුමනසිරි." ලොකු සර් කිව්වා.

" අනේ ලොකු සර්, චලනට තරඟෙට යන්න සපත්තු දෙකක් කවුරුවත් දුන්නෙ නෑ. එයාට සපත්තු දෙකක් අරන් දෙන්න සල්ලි හොයාගන්නයි මන් මේ වැඩේ කරේ" දිනෙත් කිව්වේ ඇස් වල කදුලු පුරෝගෙන. " අනේ මයෙ කොලුවා එහෙම වැරදි වැඩ කරන ළමයෙක් නෙවෙයි ලොකු මහත්තයා." ආච්චි අම්මත් හරිම දුකෙන් කිව්වා.

" දිනෙත් පුතේ, මෙහෙ එන්න. " ලොකු සර් දිනෙත්ව ලඟට අරගත්තා. ආදරෙන් ඔලුව අතගෑවා.

"පුතාගෙ චේතනාව බොහෝම හොඳ එකක්. ඔයාට වගේ හැම කෙනාටම අනිත් කෙනාගෙ වේදනාව තේරුම් ගන්න බෑ. ඔයා හැදුවෙ ඔයාගෙ යාලුවට උදව් කරන්නනේ. ඒත් පුතේ හොරකම කියන්නේ බොහෝම නරක දෙයක්. මගෙ පුතා ආයෙ හොරකම් කරන්න එපා හරිද?" ලොකු සර් හරිම ආදරෙන් දිනෙත්ට කිව්වා.

ඊට පස්සේ ගේ ඇතුලට ගියපු ලොකු සර් එලියට ආවේ පන්දාහේ කොලේකුත් අරගෙන. " ආ පුතේ මේක ගන්න. ආච්චිත් එක්ක මේක අරගෙන ගිහින් පුතාගෙ යාලුවට ටවුමෙ සපත්තු කඩෙන් අලුත්ම අලුත් සපත්තු දෙකක් අරන් දෙන්න" ලොකු සර් කිව්වා.

" අනේ ලොකු සර්ට බොහොම පින්. මන් ආයෙ කවදාවත් හොරකම් කරන්නෑ." දිනෙත් ලොකු සර්ට වැන්දා. 

" මට සමාවෙන්න සුමනසිරි මාමේ" දිනෙත් සුමනසිරි මාමටත් වැදලා සමාව ගත්තා. " දැන් ඒකෙන් කරි නෑ කොලුවෝ. ආයෙ මෙහෙම වැඩ නොකර ඉන්න වග බලාගන්නවා හොදා." සුමනසිරි මාමත් එහෙම කිව්වා.

ඊළග දවසේ ඉස්කෝලෙ ඇරිලා ආපු ගමන් චලනයි ආච්චියි එක්ක ටවුමට ගිය දිනෙත් චලනට ගැලපෙන ලස්සන සපත්තු ජෝඩුවක් අරගෙන දුන්නා. " අනේ ඔයාට ගොඩාක් ස්තූතියි දිනෙත්. ඔයා තමයි මට හම්බුණ හොදම යාලුවා." චලන දිනෙත්ව ආදරෙන් වැළදගත්තා.

උපදේශය : හේතුව කෙතරම් සාධාරණ යහපත් කාරණයක් වූව ද සොරකම සොරකමම ය. එබැවින් සොරකමෙහි පල විපාක දැක අන්සතු දේ සොරකම් කිරීමෙන් වළකින්න.

Comments