Skip to main content

මාර්ටින් වික්‍රමසිංහ මහතා ගැන රචනාව

මාර්ටින් වික්‍රමසිංහ මහතා

හෙළයේ මහා ගත්කරු වන මාර්ටින් වික්‍රමසිංහයන්ගේ උපත 1890 වසරේ මැයි 29 වන දින කොග්ගල ග්‍රාමයේදී සිදු විය. එතුමාගේ පියා ළමාහේවගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ නම් වූ අතර මව මාගල්ල බලපිටිය ලියනගේ තොච්චොහාමි නම් විය. ඉතා සුන්දර මනරම් ග්‍රාමයක් වූ කොග්ගල ග්‍රාමයෙහි ගෙවූ කුඩා කාලය පසු කලෙක මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නිර්මාණ වල තිබූ ප්‍රභාවය කෙරෙහි විශාල ලෙස බලපෑහ.

වයස අවුරුදු පහේදී පමණ ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේගෙන් සිංහල ද, දේවනාගරී අක්ෂර ද උගත් අතර වයස අවුරුදු හතේදී ඔහුව ගමේ පාසලට ඇතුළත් කළේය. එතැන් සිට 1897 දක්වා එම පාසලේ ඉගෙනුම ලැබූ ඔහුව පසුව බොනවිස්ටා නම් ගාල්ලේ පිහිටි ඉංග්‍රීසි පාසලකට ඇතුලත් කෙරුණි. එහි වසර දෙකක් පුරාවට අධ්‍යාපනය ලැබූ මාර්ටින් වික්‍රමසිංහයන් ඉංග්‍රීසි බස ද, ලතින් බසද මනාව ඉගෙන ගත් හ. එම වසර දෙකට පසුව තම පියා මිය යාම නිසාවෙන් ඔහුව නැවතත් ගමේ පාසලට ඇතුළත් කළ නමුත් එතැන් සිට ඔහුගේ ඉගෙනීමේ උනන්දුව පහව ගොස් තිබුණි.

කෙසේ නමුත් පසුව 1914 වසරෙදී ලීලා නම් නවකථාව සමගින් තම සාහිත්‍ය ජීවිතයට එළඹීමෙන් අනතුරුව 1919 දී ශාස්ත්‍රීය ලේඛන නම් සාහිත්‍ය විචාර ලිපි සංග්‍රහයක් ද , 1932 දී සාහිත්‍යෝදය කථා ග්‍රන්ථය ද , 1941 දී විචාර ලිපි ද , 1943 දී ගුත්තිල ගීතය ද , 1946 දී සිංහල සාහිත්‍යයේ නැගීම ද , 1950 දී සාහිත්‍ය කලාව ද , 1954 දී කාව්‍ය විචාරය ද , 1955 දී බණ කතා සාහිත්‍ය ද , 1957 නව පද්‍ය සිංහලය ද , 1964 දී සිංහල විචාර ද , 1971 දී සම්ප්‍රදාය හා විචාර ද , තවත් නම් නොකී සාහිත්‍ය ග්‍රන්ථ ගණනාවක් ද සිංහල සාහිත්‍යට දායද කළ හ.

මෙම සාහිත්‍ය ග්‍රන්ථ තුළින් එතුමා මෙරට පැවති ඉන්දියානු හා බටහිර සාහිත්‍ය ආශ්‍රය කොටගත් සාහිත්‍ය ගමන් මග වෙනස් කොට එම ඉන්දීය, බටහිර සාහිත්‍යන්ගේ සංකලනයෙන් ශ්‍රී ලාංකික සාහිත්‍යටම ආවේණික සංකලනයක් ගෙන ආවේ ය.

තව ද මාර්ටින් වික්‍රමසිංහයන් විසින් බාලෝපදේශය, උන්මාද චිත්‍රා, උපාසකම්මා , ගලිවරායණය , රජ වෙන්ට ගිය මහණ්ණා, දඩු මොනරය, රන්කෙදි කුමාරිකාව ආදී ලෙස ළමා සාහිත්‍ය කෘති ද රචනා කොට ඇත. ඊට අමතරව මෙතුමා ජීව විද්‍යාව, දෘශ්‍ය කාව්‍ය, පද්‍ය කාව්‍ය, නවකතා, පාඨශාලා පොත් මෙන්ම කෙටිකතා රචනා කර ඇත. එම කෙටිකතා අතර ගැහැනියක්, මගුල් ගෙදර, පව්කාරයාට ගල් ගැසීම, අපෙ විත්ති, හද සාක්කි කීම, මගේ කතාව, බිල්ල සහ අපූරු මුහුණ, වහල්ලු මෙන්ම කතා අහුර යන කෙටිකතා ග්‍රන්ථය ද වේ.

සාහිත්‍ය රචකයෙකුගේ භූමිකාවට අමතරව රසවින්දනාත්මක හා නිර්මාණශීලී රචකයෙකුගේ කාර්යභාර්යද එතුමා හොදින් ඉටු කළ හ. ඒ අතර 1944 දී එළි දැක්වූ ගම්පෙරළිය නම් නවකථාවද මුල් තැනක් ගනියි. ඒ මගින් නවීකරණය හමුවේ අභියෝගයට ලක් වූ සාම්ප්‍රදායිකත්වය පිළිබද ඉතා ආකර්ශණීය ආකාරයට පාඨකයා වෙත ඉදිරිපත් කර ඇත.

එතුමා 1948 දී රචනා කළ යුගාන්තය ද, 1957 දී රචනා කළ කළියුගය ද, ගම්පෙරළියෙහි සදහන් වන යටි අරුතම ලබා දෙන ග්‍රන්ථ වේ. ඒවායෙහි දැක්වෙන්නේ සාම්ප්‍රදායිකත්වය බිද වැටීමෙන් අනතුරුව ගොඩ නැගෙන නාගරීකරණය, නවීකරණය සහ කම්කරු ලෝකය පිළිබදව ය. මෙම නවකතාවන්ට අමතරව ලීලා, සෝමා, අයිරාන්ගනී, ශීතා, මිරිගු දිය, රෝහිණී, මඩොලු දූව, විරාගය ඇතුලු තවත් නවකතා රාශියක් ද මෙතුමා රචනා කර ඇත.

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මෙම ලේඛන ජීවිතයට පණ පෙවීමට මුල පිරූ කුඩාකළ ජීවිතය සහ අත්දැකීම් පාදක කර ගනිමින් "අපේ ගම" සහ "උපන් දා සිට" නමින් ග්‍රන්ථ දෙකක්ද ඔහු රචනා කොට ඇත.

මෙලෙස තම ජීවිතය ලේඛනය මෙන්ම සාහිත්‍ය වෙනුවෙන්ම ගතකළ බැවින් මේ මහා ගත්කරුවා ' කොග්ගල ප්‍රාඥයා යන ගරු නාමයෙන් පුදයි. පසු කලෙක මාර්ටින් වික්‍රමසිංහ මහතා සාහිත්‍ය චක්‍රවර්ති සම්මානයෙන් ද, ජනාධිපති සාහිත්‍ය සම්මානයෙන් ද ඊට අමතරව බ්‍රිතාන්‍ය O.B.E. සම්මානයෙන් ද පිදුම් ලැබීය. 

ඒ හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් 1976 වසරේ ජූලි මස අභාවප්‍රාප්ත විය.

- ආලෝකා සයුරංගි - 

Comments