Skip to main content

පොත් කියවීමේ වැදගත්කම රචනාව

පොත් කියවීමේ වැදගත්කම

පොත යනු මිනිසාගේ දැනුම, අත්දැකීම්, හැඟීම් හා සිතිවිලි ආදිය ලියවෙන හා තවත් මනුෂ්‍යයෙකුට  අත්දැකීම් හා දැනුම් සමුදායක් ලබාගත හැකි වටිනා මධ්‍යස්ථානයකි. මිනිසාගේ සංස්කෘතියේ වර්ධනය, අධ්‍යාපනයේ ප්‍රවර්ධනය සහ මානව වටිනාකම් රැකීම සඳහා පොත් කියවීම ඉතාමත් වැදගත් අංගයකි. විශේෂයෙන්ම නූතන තාක්ෂණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන යුගයක, පොත් කියවීමේ වැදගත්කම කෙරෙහි නැවත අවධානය යොමු කිරීම වටිනා දෙයකි.

පොත් කියවීම මගින් මිනිසාට වටිනා කියන දැනුම් සම්භාරයක් ලබා ගැනිමටද හැක. විද්‍යාත්මක, සාහිත්‍යමය, ආගමික, විචාරාත්මක වශයෙන් විවිධ මාතෘකා යටතේ පොත් පවතින අතර ඒවා කියවීමෙන් පුද්ගලයෙකුගේ දැනුම පුළුල් වේ. ඉතිහාසය, භූගෝලය, තාර්කිකය, දේශපාලනය, විද්‍යාව, භාවනාව, ආර්ථිකය වැනි විෂය ක්ෂේත්‍ර වලට අදාල පොත් පත් කියවීම තුළින් එම ක්ෂේත්‍රයන් තුළ ගැඹුරු අවබෝධයක් ලබා ගත හැකිවීමත්, එමඟින් ප්‍රබුද්ධ ජීවිතයකට ළඟා විය හැකි වීමත් විශේෂත්වයකි.

පොත් කියවීම මගින් මිනිසාගේ සිතුවිලි වල ගැඹුර වැඩිවේ. විවිධ මතභේදාත්මක පොත් කියවීම මඟින් විචාරාත්මක සිතක් සහ විශේෂ අවබෝධයක් ඇති කර ගැනීමට හැකියාව ලැබේ. පොත පත කියවීමෙන් තමන්ගේම අදහස් ගොඩනගන හැකියාව වර්ධනය වීමෙන් විශේෂයෙන් තරුණයන්ට තම මතය නිවැරදිව පළ කිරීමට, නීතියට ගරු කරමින් ජීවත්වීමට සහ වෙනත් අයගේ අදහස් වලට ගරු කිරීමේ හැකියාවක් ද ඇති කරයි.

පොත් කියවීම භාෂා දැනුම ‍නැංවීම සඳහා ද විශේෂ වේ. වාක්‍ය නිමාව, වචන භාවිතය, වාක්‍ය ව්‍යුහය, සාහිත්‍යමය රූපක, සහ විවරණ කුසලතා වැනි භාෂාමය අංග විශාල වශයෙන් පොත් මඟින් ඉගෙන ගැනීමට හැකිය. මෙය පාසල් සිසුන් සඳහාද, වෘත්තීය මට්ටමේ සිටින පුද්ගලයන් සඳහාද වටිනා දෙයකි.

ආතතියෙන් සහ කාර්යබහුලතාවයෙන් පීඩා විඳින ජීවිතයට විවේකයක් ලබාදීමටත්, මනෝසංතෘප්තියක් ලබා දීමටත් පොත් කියවීම උපකාරී වේ. නව ලෝකයක් තුළට ගමන් කිරීමක් මෙන්ම, නව චරිත, සිදුවීම් හා අදහස් තුළට පිවිසෙමින් යම් ආකාරයක මනෝ විනෝදාස්වාදයක් ලබා ගත හැකිය.

එමෙන්ම නියමිත ආකාරයෙන් හැසිරෙන්නට, මිනිසුන්ගේ හැඟීම් තේරුම් ගන්නට මෙන්ම සහයෝගීතාවය, ආදරය, දයාව, සමාජ ගරුත්වය වැනි වටිනාකම් වර්ධනය කිරීමට ද පොත් කියවීම උපකාරී වේ. විශේෂයෙන් ළමා කාලයේ පොත් කියවීමෙන් ලබාගන්නා කුඩා දියුණුවක් පවා ඔහුගේ මූලික සදාචාරික හැසිරීම් ගොඩනැගීමට දායක වෙයි.

ඊට අමතරව දැනට පවතින ලෝකයේ තත්වය, විදේශීය සම්බන්ධතා, තාක්ෂණික ප්‍රවණතා වැනි යථාර්වාදී දේවල් අවබෝධ කර ගැනීම සදහා ද පොත් කියවීම වැදගත්ය. එමඟින් තම ජීවිතය සදහා ගතයුතු තීරණ පිළිබඳව නිවැරදිව සිතීමට හැකියාවක් ද පාඨකයාට ලැබේ.

පොත් කියවීමට යොදවන කාලය අනාගතය සඳහා ආයෝජනය කිරීමක් ලෙස ද හැඳින්විය හැක. ජීවිතය ගොඩ නැගීමෙහි මුල් පියවරෙහි සිටින තරුණයන්ට ද, වැඩ ලෝකයෙන් බැහැරව විශ්‍රාම සුවයෙන් සිටින වැඩිහිටි අයටද කාලය ඵලදායීව ගත කර ගැනීම සදහා පොත් කියවීම විශිෂ්ට මාර්ගයකි.

දැනට පවතින තාක්ෂණික යුගය තුළ ඉලෙක්ට්‍රොනික පොත් හා නව මාධ්‍ය තුළින්ද පොත් කියවීම සිදුවෙයි. එමඟින් පොත් කියවීමේ පරාසය ඉතා පුළුල්ව ඇත. එය තවදුරටත් නව පරපුරට කියවීම පුරුදු කරවීමට ඉඩ සලසයි.

නූතන තරුණ පරපුර පොත් කියවීමේ හැසිරීමෙන් ඉවතට යෑමට වැඩි ඉඩක් පවතී. ජංගම දුරකථන, සමාජ මාධ්‍ය වැනි විනෝදාස්වාදය ලබාදෙන මූලාශ්‍ර වැඩිවීම පොත් කියවීමට වන ඇලීම අඩු කර ඇත. මේ සඳහා පාසල් වලින් හා පවුලේ වැඩිහිටියන් මගින් තරුණ පරපුර පොත් කියවීමට ආකර්ෂණය කරවිය යුතුය. පුස්තකාල සංවර්ධනය, පොත් කියවීමේ අභියෝග වැනි දේවල් ක්‍රියාවට නැගීම උචිත වේ.

පොත් කියවීම යනු බුද්ධිය, හැඟීම්, විනය, විචාරය හා ගුණාංගයන් වර්ධනය කරන, ජීවිතය නව ආලෝකයකින් දැකීමට හැකි වන මාර්ගයකි. එය භාවිතා කරන්නේ නම් පුද්ගලයෙකුගේ ජීවිතය සාර්ථක කර ගත හැකි ය. එනිසා, පොත් කියවීමේ වටිනාකම අවබෝධ කරගෙන, එය තම ජීවිතයේ නව පරිච්ඡේදයක් ගොඩනැගීමට භාවිතා කළ යුතු වේ.

- ආලෝකා සයුරංගි -

Comments