ශ්‍රී ලංකාවේ අහිකුණ්ඨික ජනයා
අහිකුණ්ඨිකයන් යනු ශ්‍රී ලංකාවේ වෙසෙන සුලු ජන කොට්ඨාසයකි. ප්‍රධාන වශයෙන් ලංකාවේ උතුරුමැද පළාත, සබරගමු පළාත මෙන්ම නැගෙනහිර පළාත ආශ්‍රිතව වාසය කරන මොවුන් ඉන්දියාවේ කුරවර් නම් ගෝත්‍රයෙන් පැවත ලංකාවට සංක්‍රමණය වූ පිරිසක් ලෙස සලකයි.
මොවුන්ට අපට මෙන් ස්ථිර වාසස්ථාන නොමැති අතර තැනින් තැන ඇවිද යමින් තාවකාලික වාසස්ථාන වල වෙසෙයි. පන්සිය පනස් ජාතක කථා පොතෙහි එන 'චම්ප්‍යෙය ජාතකයේ' මෙන්ම සද්ධර්මාලංකාරයේ එන 'අහිකුණ්ඨික වත්ථු' යන්නෙහිද මොවුන් ගැන සදහන් වන්නේ ගමින් ගම ඇවිද යමින් නයි හා රිලවුන් නටවමින් තම ජීවිකාව ගෙන ගිය අහිකුණ්ඨික නම් දරන ජන කොටසක් ලෙස ය.
මොවුන්ගේ තාවකාලික වාසස්ථාන තැනින් තැන ගෙන යා හැකි පරිදි තල් කොළ වලින් නිමවා ගන්න අතර එය උසින් අඩි පහක් පමණ ද පළලින් අඩි හතක් පමණ මෙන්ම දිගින් අඩි නවයක් පමණ ද වේ.
මොවුන්ගේ එදිනෙදා කටයුතු සදහා අවශ්‍ය මස්කත් නොහොත් පිහිය, රෝලු නොහොත් වන්ගෙඩිය, තාලේ නොහොත් බේසම, ඉරමන් නම් හිරමනය, සත් නොහොත් කුල්ල, පස් රායි ලෙස හදුන්වන ඇඹරුම් ගල ආදී ලෙස ඔවුන්ටම ආවේණික බසකින් නම් තැබූ බඩු බාහිරාදිය සියල්ල මේ නිවෙස් තුළම ගබඩා කරයි.
ප්‍රධාන වශයෙන් මොවුන්ගේ ජීවනෝපාය වන්නේ තැන තැන ගොස් නයි හා රිලවුන් නටවා මුදල් හෝ වියළි ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම ය. පිරිමින්ගේ උපාය මාර්ගය නයි හා රිලවුන් නැටවීම වන අතර ගැහැනුන් අත බලා සාස්තර කියයි. ඊට අමතරව සාමාන්‍ය ජනයාගෙ නිවාස තුළට වෙසෙන සර්පයින් ඇල්ලීම හා සර්ප වෙදකම මොවුන්ට පරම්පරාවෙන් උරුම වෙයි.
මොවුන්ගේ එදිනෙදා ජීවිතයට හා ජීවනෝපායට උපකාර වන නයා, බල්ලා, බූරුවා, රිලවා යන සත්ත්වයින්ට මොවුන් බොහෝම ආදරෙන් මෙන්ම කරුණාවෙන් සලකයි. ඒ අතරින් නයා දේවත්වයෙන් ද සලකයි. බෝධිසත්වයන්ගේ එක් නාග ආත්මයක් වන 'භූරිදත්ත ජාතකය", පිළිබද ඔවුන් දැන සිටීම ද ඊට හේතුවකි. ඊට අමතරව ඔවුන් තමන්ගේ නිවාස 'නා ඉල්ල' නමින් හදුන්වා ගන්නේ 'නාග ගෘහය' යන අරුතෙනි.
ඔවුන් සාමාන්‍යයෙන් හින්දු ආගම අදහන පිරිසක් වෙති. එහිදී ඔවුන් විෂ්ණු, කතරගම, පත්තිනි යන දෙවි වරුන් පුදන අතර දඩයමට යෑමට පෙර වන දෙවියන්ට කුකුල් බිල්ලක් ද පූජා කරති. ඒ කෙසේ වෙතත් බුදු දහමට අයත් සංස්කෘතියෙන් ලබාගත් අල්ප ආභාෂයක් හේතුවෙන් පෝය දිනවල සතුන් මැරීගෙන් වැලකී සිටීමට ඔවුන් වග බලා ගනියි.
අහිකුණ්ඨික ජනයාගෙ විවාහය නෑනා- මස්සිනා විවාහයන් වන අතර ඊට තම රැහේ සුදුසු අයෙක් නැති නම් තම වර්ගයට අයත් වෙනත් රැහැකින් අයෙකු සොයයි. විවාහය සදහා මනාලිය සුදු පැහැයෙන් ද මනාලයා කහ පැහැයෙන්ද සැරසෙන අතර එහිදී මනාලයා විසින් මනාලියගේ අතෙහි වළල්ලක් පළදවයි. දෑතෙහි ම වළලු දැමීමට වරම් ඇත්තේ විවාහක ස්ත්‍රීන්ට පමණි. කෙසෙල් කොළ වල පිළි ගැන්වූ මංගල භෝජන අනුභව කර ප්‍රීති වීමෙන් අනතුරුව මංගල උත්සවය නිම වෙයි.
ඉරිදා, සදුදා, අගහරුවාදා යන දින විවාහයන් සදහා සුබ නැකැත් දින ලෙස සැලකෙන අතර විවාහයෙන් පසු එලබෙන පළමු බ්‍රහස්පතින්දා දිනයෙහි මනාල යුවළට නෑදෑයින්ගෙන් තෑගි බෝග ලැබෙයි. එහිදී බොහෝ දුරට පේළාවක බහාලු නයෙක්, බල්ලෙකු, බූරුවෙකු දෑවැද්ද ලෙස ලැබෙන්නේ සිරිතක් වශයෙනි.
එමෙන්ම ගැහැනු දරුවෙකු වැඩි වියට පත් වූ පසු බාල සොහොයුරියක සමග දින හතක් තල් කොළ වලින් සෑදු පැලක් තුළ රදවා තබා නැවතත් තල් පත් වලින් සෑදූ පැලක් තුළ දින පහක් තබා ඉන් පසු දිනයේ තම නැන්දා විසින් නහවා පිරිසිදු කිරීමෙන් අනතුරුව සමාජයට පිළි ගැනෙයි.
අහිකුණ්ඨික රැහ තුළ වෙසෙන ශක්තිමත්, අපක්ෂපාතී, නායකත්ව ලක්ෂණ දරන වයස අවුරුදු තිහ ඉක්මවූ පුරුෂයෙක් සියලු දෙනාගෙ කැමැත්තෙන් නායකයා බවට පත්වන අතර ඔහු 'ආරච්චි' නමින් හදුන්වයි. සියලු තීන්දු තීරණ ගැනීම් හා නිර්ණය කිරීම් ඔහු සතු වන අතර සියලු දෙනා එය පිළිගනියි. කෙසේ නමුත් ඔහු වැරදි ලෙස ක්‍රියා කරන්නෙ නම් ඔහුව දූරයෙන් පහ කිරීමේ හැකියාව අනෙක් අය සතු වෙයි.
රැහැ තුළ යම් ආරවුලක් ඇතිවූ විට ආරච්චි ප්‍රමුඛ කණ්ඩායම තීන්දුවක් ලබාදෙන අතර එය ඔවුන්ගේ විශ්වාස හා ඇදහිලි මත පදනම්ව බොහෝ විට නිවැරදි වෙයි. නමුත් එකගතාවයකට පැමිණීමට නොහැකි වු විට 'කෝරළමාව' නම් විනිසුරු වෙත යාමට සිදු වෙයි. රැහ හතකට එක් කෝරළමාවක් බැගින් සිටියි. එහිදී ඇතැම් දිවුරුන් ක්‍රම ද දඩුවම් ක්‍රම ද වෙයි. කැකෑරෙන තෙල් බදුනකට දකුණතේ දබරැඟිල්ල දැමීම, රත් වූ යකඩ ඇණයක් ඇල්ලීමට දීම ආදිය එම දිවුරුම් ක්‍රම වෙයි.
සරල ජීවන රටාවක් ගෙවන මෙම අහිකුණ්ඨික ජන කොට්ඨාසය ද ශ්‍රී ලංකාවේ ජන විවිධත්වයට හේතු වෙයි. ලංකාවේ වෙසෙන ප්‍රධාන ජන කොටස් සමග සන්නිවේදනය කිරීම සදහා වැදගත් වන පරිදි ඔවුන්ට සිංහල හා දෙමළ බස හැසිරවීමට ද හැකියාව ඇත. ඒ කෙසේ නමුත් තෙලිගු බස මිශ්‍ර ඔවුන්ටම ආවේණික බස් වහරක් ද ඔවුන් සතු වේ.
ශ්‍රී ලාංකීය ජන විවිධත්වයේ තවත් විශේෂ ජන කොටසයක් වන අහිකුණ්ඨික ජනයා ද මේ වන විට තාවකාලික නිවෙස් හා රිලවුන්, නයින් නැටවීම වෙනුවට ස්ථිර නිවාස මෙන්ම ස්ථිර රැකියා සදහා යොමු වෙමින් නවීකරණය වෙමින් පවතියි.
- ආලෝකා සයුරංගි -
Comments