වීර පුරන් අප්පු
මොරටුව, උයන ග්‍රාමයේදී මෙලොව එළිය දුටු වීර පුරන් අප්පුගේ මුල් නාමය වීර හැන්නදිගේ ෆ්‍රැන්සිස්කු ප්‍රනාන්දු විය. ඒ 1812 වසරේ නොවැම්බර් 07 වන දා ය. එතුමාගේ පියා වීරහැන්නැදිගේ ෆ්‍රැන්සිස්කෝ ප්‍රනාන්දු නම් වූ අතර මව හෙලේනා හාමිනේ නම් විය.
වීර පුරන් අප්පු අධ්‍යාපනය ලැබුවේ මොරටුව උයනේ පිහිටා තිබු වෙස්ලියන් පාසලෙනි. දස හැවිරිදි වියේදී තම පාසල් ගමන නිමාකොට මවගේ ගම වූ මොරටුව, ලක්ෂපති නම් ගමෙහි නවාතැන්ගෙන සිටි කාලයෙහි ඔහු ඉන්ග්‍රීසීන්ගේ ඇසුරට වැටුණි. එවකට ආණ්ඩුකාර දූරය හෙබවූ ලෙප්ටිනන්ට් ජෙනරාල් එඩ්වර්ඩ් බාන්ස්තුමා හා දඩයමෙහි යන්නට පුරුදුව සිටි වීර පුරන් අප්පුට ඒ මාර්ගයෙන් ඉන්ග්‍රීසීන්ගේ ගති පැවතුම් සහ හැසිරීම් පිළිබද මනා අවබෝධයක් ලැබීමට ඉඩ හසර සැලසුණි. කුඩා කළ සිටම නිර්භීත වූ ඔහු නිසි කාරණාවක් නොමැතිව තමාට පහර දුන් ගම්මුලාදෑනියකුට ප්‍රතිපහාර පහර දීමෙන් පසු ගමෙන් පැන ගොස් බදුල්ලෙහි පිහිටි තම මාමා කෙනෙකුගේ නිවසෙහි නැවතී සිටින්නට යන විට ඔහුට වයස අවුරුදු 13 ක් විය.
එකළ රජය විසින් මුඩුබිම් පනත නම් පනතක් ක්‍රියාත්මක කිරීමත් සමග ශ්‍රී ලාන්කික ජනයාට තම පාරම්පරික ඉඩම් අහිමිව ගියේ ය. ඊට අමතර රජයට අමතර ආදායමක් ලැබීම පිනිස ක්‍රියාත්මක කළ් බලු බද්ද, තුවක්කු බද්ද, ඔරු බද්ද ආදී අසාධාරණ බදු අය කිරීමේ පිළිවෙත් රැසක් ක්‍රියාත්මක කෙරුණි.
උපතින්ම නිර්භීතකමත්, ජාතිකාලයත් තිබූ වීර පුරන් අප්පුට ස්වදේශීය ජනයා පීඩාවට පත් කරන රාජ්‍ය පිළිවෙතෙහි නිමාවක් දැකීමට සිත යොමු වීමෙන් පසු සටනට සේනා සන්විධානය කිරීම හා අධිරාජ්‍ය විරෝධී සටන් කෙරෙහි යොමු වීම ඔහුගේ එකායන අරමුණ විය.
මේ සිදුවීම් සමුදායත් සමගම වීර පුරන් අප්පු යන නාමය වීරයෙකු ලෙසින් සිංහල ජනයා අතර ප්‍රචලිත විය. ජනතාව ඔහුට වීරයෙකු සේ සැලකූහ. ඒ අනුව 1848 වර්ෂයේ ජූලි මස ස්වදේශීය සටන් නායකයින් හා පිරිස රන්ගිරි දඹුලු විහාරයට එක් රැස් වී සෙත් පිරිත් ගායනා කිරීමෙන් අනතුරුව කුඩාපොළ හිමියන් අතින් හෙළයේ වීරයෙකු වූ වීර පුරන් අප්පුව 'වලිසිංහ' නමින් රාජාභිශේකයට පත් කෙරුණි. පසුව 1848 ජූලි මස 26 වන දින වීර පුරන් අප්පුගේ නායකත්වය යටතේ සේනාව මාතලේ පිහිටි මැක්ඩොවල් කොටුවට පහර දී ජයග්‍රහණය කර වීර පුරන් අප්පු මහනුවරට පැමිණීමෙන් අනතුරුව කන්ද උඩරට ජනයා ඔහුව තම රජු ලෙස පිළිගත්හ.
ඒ කෙසේ වෙතත් ඉංග්‍රීසින්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළ වීර පුරන් අප්පුට අනෙක් නායකයන්ට සතු වූ සේනාවන්ගේ සහය නොලැබීම නිසා ඉංග්‍රීසීන් මාතලේ - මහනුවර මාර්ගයේදී වීර පුරන් අප්පු ඇතුළු පිරිසට එල්ල කළ ප්‍රහාරයෙන් පරාජයට පත් විය.
එලෙස සිරභාරයට පත් වූ වීර පුරන් අප්පුට එරෙහිව 1848 අගෝස්තු 8 වැනි දින වික්ටෝරියා රැජිනට එරෙහිව කැරළි ගැසීම හා යුධ කිරීම යන චෝදනාව යටතේ නඩු විභාග විය. ඒ අනුව මරණ දණ්ඩණය නියම වූ හෙළයේ මහා වීර පුරන් අප්පු එදිනම පස්වරුවේ බෝගම්බර වැව් ඉවුරේදී වෙඩි තබා ඝාතනය කෙරුණි.
වීර පුරන් අප්පු අභීතව එම වෙඩි උණ්ඩයට මුහුණ දුන් අතර මරණයට පෙර ඔහුගේ අවසන් වදන් වූයේ " මා වැනි තවත් තුන් දෙනෙකුවත් සිටියා නම් කන්ද උඩරට එක සුද්දෙකුවත් ඉතුරු කරන්නෙ නෑ " යන වදනය.
Comments