පිරිසිදුකම
මිනිසා සෑම තැනකින්ම වින්දනය පමණක් රැගෙන, ඔවුන් හැර ගිය අපිරිසිදු සලකුණු එහි ඉතිරි කර එයි. ඒ නිසාම අද පිරිසිදුකමේ සත්‍ය අගය ගැන මනුෂීය හැඟීමක් සමාජයට දිය යුතු වෙනවා.
පිරිසිදුකම යනු දිනපතා ස්නානය කිරීම පමණක් නොවෙයි. එය කායික, මානසික, වාචික හා ආත්මීය වශයෙන් පරිපූර්ණ වෙයි. මේ තුනම සවිමත් වීමෙන් සම්පූර්ණ පිරිසිදුකමෙහි නියම අරුත ගොඩනඟන හැකියාව ලැබේ.
නිරෝගී ජීවිතයක මුල් පියවර කායික පිරිසිදුකමයි. අපේ සිරුර යනු අපි ජීවත් වන පළමු වාසස්ථානයයි. එය නිරෝගී සහ නිරවුල් තත්ත්වයක තබා ගැනීම වඩාත් වැදගත්ය. ස්නානය, දත් මැදීම, ඇඳුම් පිරිසිදුව තබා ගැනීම, වැනි දෛනික කටයුතු පිරිසිදුකමේ මුලික පියවර වෙයි. අපිරිසිදු තැනැත්තාට තම සිරුර නිසි පරිදි පිරිසිදු නොකිරීමෙන්, ඇදුම් පැලදුම් ආදී තමා පරිහරණය කරන දේ පිරිසිදුව තබා නොගැනීම, පිරිසිදු ආහාර පාන පරිහරණය නොකිරීම සහ තමා වෙසෙන පරිසරය පිරිසිදු නොකිරීමෙන් විවිධාකාර වූ ලෙඩ රෝග වැලදෙයි.
පිරිසිදු ඇඳුමකින්, පිළිවෙලට සැරසී සිටින පුද්ගලයෙකු සමාජය තුළ විශ්වාසය, ගරුත්වය, ආදරය සහ ආකර්ෂණය ලබා ගනියි. ඔහු ආරක්ෂාකාරී, පිළිවෙලකට යටත්වන, සමාජ වගකීමක් දන්නා පුද්ගලයෙකු ලෙස හැඳින්වේ.
මානසික පිරිසිදුකම නම් විවේචනයෙන් තොර, අන් අයට අපහාස නොකරන, උද්වෙගයකින් තොර, සාර්ථකව තම සිතිවිලි පෝෂණය කිරීමයි. දේශපාලන, ආගම්, වර්ග, භාෂාව වැනි තවත් ද්වන්දවයන් අතර වෙන්වීමේ හැඟීම් ඉවත් කරමින්, සියලුම සතුන්ට සහජීවනයෙන් යුතුව ආදරය දැක්වීම පිරිසිදු මනසක ලක්ෂණයකි.
අද සමාජයේ දැක ගත හැකි බොහෝ වංචා, දූෂණ, විරුද්ධතාවයන් සහ ගැටීම් මේ සියල්ලම පිරිසිදු නොවන සිතිවිලි වලින් උපන් දේවල්ය. සිත පිරිසිදු කර ගැනීමෙන් පමණක් වෛරය මකා දමා හැමෝටම සාමය සතුට ලබා දිය හැක.
තමා වෙසෙන අවට පරිසරයේ පිරිසිදුකම ද, පිරිසිදුකමෙහි මූලික සහ විශාල අංගයක් වෙයි. මිනිසුන් මේ මිහිතලයේ නොවේ නම් අපි සිටින මේ පරිසරය පියුමක් වගේ සුරක්ෂිතයි. නමුත් එය අපේ අතින්ම විනාශ වෙමින් පවතී. බිම් දූෂණය, ජලය දූෂණය හා වායු දූෂණය, අපද්‍රව්‍ය අනිසි ලෙස බැහැර කිරීම අනාගත පරපුරට අප තබන අනාරක්ෂිත උරුමයයි. මෙවැනි දේවල් සාමාන්‍ය ලෙස සිදු වුනාට, ඒවා තුළින් සෑම දිනයකම අපට හානි සිදු වනවා. පරිසරය පිරිසිදු කිරීම පෞද්ගලික වගකීමක් පමණක් නොව සමාජීය වගකීමක්ද වේ.
අපි වැඩිය අවධානය යොමු නොකරන පැති කඩක් නමුත් බුදු දහමට අනුව වාචික පිරිසිදුකම, පිරිසිදුකමෙහි මූලික අංගයක් වෙයි. අනෙකාට දෝෂාරෝපණ එල්ල කිරීම්, පරුෂ වචන භාවිතය, කේලම් කීම වැනි වාචික අකටයුතුකම් වලින් වැලකීමෙන් සාමාජීය සබදතා සුරක්ෂිත වෙනවා මෙන්ම තමාගෙ ගරුත්වය ද රැකෙයි.
ආත්මීය පිරිසිදුකම යනු මනුෂ්‍යයාගේ හෘදයාංගමය පිරිසිදු කිරීමයි. බුදු දහම, හින්දු දහම, ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් වැනි විවිධ ආගම් සියල්ලම පිරිසිදුකම ගැන විශාල වටිනාකමක් දක්වයි. නමුත් එය ආගමික චාරිත්‍ර වලට සීමා නොවෙයි. හැමෝම කල යුතු පුද්ගලික, ආධ්‍යාත්මික ව්‍යායාමයකි. පිරිසිදු ආත්මයක් ඇති සත්‍යවාදී මිනිසුන් සමාජය මෙන්ම ලෝකය ඉන්න හිතෙන තැනක් කරයි.
මේ ආකාරට කායික, මානසික, වාචික සහ ආත්මීය ලෙස සහ පරිසරයේ පිරිසිදුකම රැකීමෙන් අනාගත පරපුරේ නීරෝගීභාවය සුරක්ෂිත කළ හැකි සේම මතු පරපුරට ලස්සන පරිසරයක් දායාද කළ හැකි වෙයි.
- ආලෝකා සයුරංගි -
Comments