Skip to main content

ලස්සන ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට නම් රචනාව

ලස්සන ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට නම්

ශ්‍රී ලංකාව සුන්දරත්වයෙන් පිරුණු දිවයිනකි. සීගිරිය, දළදා මාළිගාව, දකුණු මුහුදු තීරය, රට පුරා විහිදී ඇති විවිධාකාර ආගමික ස්ථාන, කදු, දිය ඇලි, වනෝද්‍යාන මේ සියල්ල එක්ව ගත්කළ රටක් ලෙස ආඩම්බර විය හැකි නමුත්, රටේ ලස්සන පාවිච්චි කරන්නෙත්, එය තවත් ලස්සන කරන්නෙත්, විනාශ කරන්නෙත් අපි මයි. එනිසා මේ සුන්දර දිවයිනේ අලන්කාරත්වය රැක ගැනීම අප සියලු දෙනාගේ වගකීමක් ය.

"ලස්සන රටක්"යන්න වඩාත් බහුඅර්ථවත් වචනයක් වේ. පරිසරය පමණක් නොවෙයි. එය මිනිස්සුන්ගේ හැසිරීම, ආචාරධර්මය, විනය, සාමය, සත්‍යය, ආදරය, හා ගරු කිරීම මත පදනම් වේ. මේවා නැතිනම් පරිසරය කෙතරම් සුන්දර වුවද, රටක් සැබෑවටම ලස්සන නොවන බව නිසැකයි.

එමෙන්ම රටක් ගොඩනැගීම කෙරෙහි හැම කෙනෙකුටම තමන්ට අදාළ භූමිකාවක් තිබේ. දරුවෙකුට පාසලේ ඉගෙනීමත් සමග ම, අයහපත් දෙවල් වලින් වැළකීම, හොඳ පුරුදු අනුගමනය වැනි දේ පුරුදු පුහුණු කිරීම මගින් රටේ අනාගතය ලස්සන කල හැකිය. තරුණයන්ද වගකීම් සහිතව, විවෘත මනසකින්, නීතියට ගරු කරන ආකාරයෙන් හැසිරීම කළ යුතුය. 

රට තුළ ලස්සන ජීවිතයක් බිහි කිරීමට සැබවින්ම අවශ්‍ය නම් තරුණයෝ තමන්ගේ හැකියාවන් හඳුනාගෙන, රටට උපකාරී ක්ෂේත්‍ර වලට එක්වීම සිදුකළ යුතුයි. විශේෂයෙන් තාක්ෂණය, ව්‍යාපාර, සමාජ සේවය, ස්වදේශීය නිශ්පාදන යන ක්ෂේත්‍ර ඊට අයත් වේ.

ලස්සන රටක් නම් පිරිසිදු, හරිත පරිසරයක් ඇති තැනක් විය යුතුය. දැන් බොහෝමයක් තැන්වල අපිට දැකිය හැක්කේ දූෂිත බව, පරිසරය විනාශ කරන කසල, වනාන්තර කැපීම වැනි දේවල් ය. මේ කිසිවක් ලස්සන රටක සලකුණක් නොවෙයි. අනාගත පරපුරට සුන්දර රටක් දායාද කිරීමට අද සිටම ගස් රෝපණය කිරීම, කසල නිසි පරිදි බැහැර කිරීම, සහ ප්ලාස්ටික් භාවිතය අඩු කිරීම කළ යුතුයි.

එමෙන්ම සදාචාරය සහ අන්තර්ජාතික සමගිය ද රටක සුන්දරත්වය කෙරෙහි බලපායි. එකම රටක වුවද ජීවත් වන්නේ විවිධ ආගම්, ජන වර්ග, හා විවිධ සම්ප්‍රදායන්ට අයත් මිනිසුන් ය. මේ විවිධත්වය දිවයිනෙහි සුන්දරත්වයේම තවත් එක් කොටසක් වේ. මෙහිදී එකිනෙකාට ගරු කිරීම මෙන්ම ආගමික සහ ජාතික සහජීවනය රැකීම වඩාත් ලස්සන ශ්‍රී ලංකාවක් සඳහා වැදගත්ම පියවරකි.

රටක් ගොඩනැගීම කෙරෙහි නායකත්වය දරන පුද්ගලයන්ට විශාල වගකීමක් තිබේ. නීතියට ගරු කරන, සත්‍යය පිළිපදින, දූෂණයෙන් තොර පරිපාලනයක් රටට ලැබුණොතින් ජනතාවගේ විශ්වාසයත්, සහයෝගිතාවත් නිතැතින්ම ලැබෙන නමුත් ජනතාවද, තමන්ගේ මූලික වගකීම් හඳුනාගෙන, වටපිටාවට උදව් කරමින් ජීවත් විය යුතුයි. එසේම අපි සැවොම එක්වී, නිවැරදිව මඟ පෙන්වන්න පුළුවන් නායකයින් තෝරාගැනීම කළ යුතු වෙමු.

නීතියට ගරු කිරීම සහ සමාජ සාමය රැකීම ද සුන්දර රටක අනාගතයට මග පාදන විශාල පිම්මකි. සමාජය තුළ සාමය පවතින තත්වයක් යනු සියලු දෙනාට බියෙන් තොරව සැනසීමෙන් සිටිය හැකි පරිසරයකි. පෙර කී ලෙස භෞතික පරිසරය සුරැකීම මෙන්ම නීතියට ගරු කිරීමෙන් සහ සියලු දෙනා සමග සාමකාමීව ජීවත් වීමෙන් ලස්සන රටක් බිහි වේ.

- ආලෝකා සයුරංගි - 

Comments