Skip to main content

හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි පිළිබඳ රචනාව

හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි

අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි ස්වදේශීය මහා හෙළ චින්තනය, දර්ශනය පිළිබඳ දේශකයෙක් විය. බෝධිසත්ව ගුණෝපේත, ත්‍රිපිටකවාගීශ්වරාචාර්‍ය, පණ්ඩිත ශිරෝමණී ආදී ගෞරව නාමයන් රාශියක් හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ නම ඉදිරියේ සටහන් වෙයි. 

ක්‍රි.ව 1827 ජනවාරි 20 වැනිදා හික්කඩුවේ වැල්ලවත්ත නම් ග්‍රාමයේ දී උපත ලැබූ ශ්‍රී සුමංගල හිමියන්ගේ ගිහි ගෙයි නාමය දොන් නිකුලස් ලියනගේ නම් විය. දෙමාපියන් වූයේ දොන් ජොහානිස් ලියනගේ මැතිතුමාණන් හා දොඩන්දූව ගමගේ ක්‍රිස්තිනා හාමිනේය. නිකුලස් ලියනගේ ඔවුන්ගේ පස්වැනි දරුවා විය.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නමින් පැවිදි වන විට දොන් නිකුලස්ගේ වයස අවුරුදු දහතුනක් විය. සිංහල පාලි හා සංස්කෘත භාෂා පිළිබඳ හසල දැනුමක් ලබා ගත් භික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියෝ බ්‍රහ්ම ධර්මය, මාර්ග ලක්ෂණ, සිදත් සඟරා සන්නය ආදී ග්‍රන්ථ රචනා කලහ. උන්වහන්සේ ක්‍රි.ව 1848 දී පරමධම්ම චේතිය පිරිවෙනෙහි ප්‍රධානාචාර්ය ධූරයට පත් වීම සුවිශේෂ අවස්ථාවක් වූවා සේම බෞද්ධාගමික ප්‍රවර්ධනයට මහා පිටිවහලක් විය. 

ලාංකික බෞද්ධයින් පවා බටහිර සංස්කෘතිය පසු පස යමින් ක්‍රිස්තියානි ආගම වැළද ගනිමින් බෞද්ධාගම අන්තයට පිරිහී ගිය කාලයක හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියෝ බෞද්ධාගම, බුද්ධ ධර්මය හා බෞද්ධයින් වෙනුවෙන් හඬ නගන්නට වූහ. බෞද්ධයින් අවදි කරන්නට වූහ. 

විද්‍යෝදය පිරිවෙන් ආරම්භ කිරීම උන්වහන්සේගේ මූලිකත්වයෙන් සිදු විය. දිවයින පුරා ශාඛා 46 ක් පමණ වූ මෙම පිරිවෙන් වල අධ්‍යාපනය ලැබීම සඳහා දේශීය මෙන්ම විදේශීය ශිෂ්‍යයන්ද විශාල ලෙස පැමිණි බව සඳහන් වෙයි. කොළඹ ආනන්ද විද්‍යාලය බිහිවීමට ද උන්වහන්සේගේ දායකත්වය බෙහෙවින්ම හේතු විය.

බෞද්ධ පුනරුදයට උරදුන් හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ මූලික අභිප්‍රාය වූයේ බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීම බව පිළිබිඹු වෙයි. සැලසුම් සහගත වූ ඒ අභිප්‍රාය වර්තමානය දක්වා බෞද්ධාගම මෙන්ම සිංහල සංස්කෘතිය නොනැසී පැවතීමට මහෝපකාරී වූ බව කිව යුතුය.

ක්‍රි.ව 1911 අප්‍රේල් 29 වැනි දින හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියෝ අපවත් වන විට අවුරුදු 84 ක් ආයු වළඳා තිබූහ. වර්තමානයේදී පවා ජීවමාන වන උන්වහන්සේගෙන් දැයට වූ සේවාවන් චිරාත්කාලයක් ලක් දිව තුල බුදුදහම සේම සිංහල සංස්කෘතිය ආරක්ෂා කරණු නිසැකය.

Comments