පොදු දේපල සුරකිමු
ඔබට පමණක්, මට පමණක්, කවුරුන්ට හෝ පමණක් අයිති නොවූ, සියලු පුරවැසියන්ට එක ලෙස භාවිත කල හැකි දේවල් වන පොදු දේපල අපි සැම එක ලෙස සුරැකිය යුතු වෙමු. මන්ද එම දේපළ ගොඩ නගා ඇත්තේ ඔබගේ හෝ මාගේ පමණක් නොව රටේ සියළු පුරවැසියන්ගේම බඳු මුදල් වලින් වන නිසාය. ඕනෑම පුරවැසියෙකුට අවශ්‍ය විටදී භාවිත කිරීම සඳහා එම දේපළ අපි සුරැකිය යුතු වෙමු.
ඔබ ඉගෙන ගන්නා රජයේ පාසල, ඔබ ගමන් ගන්නා සී.ටී.බී බස් රථය සේම බස් නැවතුම් පොල, දුම්රිය සේම දුම්රිය නැවතුම් පොල, මහා මාර්ග, දුම්රිය මාර්ග, පොදු ක්‍රීඩාංගන, උද්‍යාන, පොදු වැසිකිළි, ගංගා දිය ඇලි, වැව් අමුණු, මුහුදු වෙරළ සහ වරාය එකී මෙකී නොකී විශාල වපසරියක් මෙකී පොදු දේපළ වලට අයත් වෙයි.
අප කිසියම් භාණ්‌ඩයක් වෙළද සැලකින් මිලදී ගන්නා විට අප ගෙවනු ලබන මුදලින් කොටසක් අපට නොදැනීම රජයට බඳු මුදල් ලෙස අය වෙයි. රජය එසේ එකතු වන සුවිශාල දනස්කන්ධයක් වැය කරමින් රටේ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පොදු දේපල නිර්මාණය කරයි. නිර්මාණය කල පොදු දේපල නඩත්තු කරයි. සංවර්ධනය කරයි.
ජනතාවට සැප පහසු ජන ජීවිතයක් ඇති කිරීම, රටේ කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම, ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම සේම විදේශිකයන් රටට ආකර්ෂණය කර ගැනීම සඳහා ද මෙම පොදු දේපල ගුණාත්මකව පවත්වා ගැනීම වැදගත් වෙයි.
බස් රථයක ගමන් ගන්නා ගමන් කාටවත් නොදැනෙන සේ එහි ෂීට් සූරා ඉරා දැමීමට ඔබට පුළුවනි. එසේම ඔබගේ නම හෝ වෙනත් බහු බූත ෂීට් වල ලිවීමට ඔබට පුළුවනි. පංසල් වල, බස් නැවතුම් වල හා ඔබගේ පාසලේම බිත්ති සූරා රූප ඇද විනාශ කිරීමට ඔබට පුළුවනි. ටොපී කොල, බිස්කට් කවර, නොයෙකුත් පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කාටත් නොපෙනෙන සේ තැන තැන, අහුමුළු වල දමා පොදු දේපල විනාශ කිරීමට ඔබට පුළුවනි. ගංගා ඇල දොළ වලට කුණු කසල දමා ඒවා විනාශ කිරීමට ඔබට පුළුවනි. තවදුරටත් කපටි සහ අධම ගති වර්ධනය කර ගනිමින් පොදු දේපල විනාශ කර ඔබගේ අනාගතය විනාශ කර ගත හැකිය. නැතිනම් ඔබට තේරෙන භාෂාවෙන් ඔබගේ අනාගතය කුජීත කර ගත හැකිය.
වරදක් බව දැන දැනත් ඔබ විසින් තව දුරටත් පොදු දේපල විනාශ කරනවා විය හැකිය. එයින් ලැබෙන විපාක පොදුවේ ඔබ අප සියළු දෙනා හට අනාගතයේ දී නරක අද්දැකීම් එකතු කරනු ඇත. ඔබට ඔබේ අනාගතය විනාශ කර ගත යුතුම නම් ඔබ ඒ සඳහා ඔබගේ නිවසේ ඇති දේවල් විනාශ කර ඒ සතුට ලබා ගන්න. ඔබට පමණක් අයිති නොවූ පොදු දේපල කිසිසේත් විනාශ නොකරන්න. ඒවා ආරක්ෂා කරන්න.
පොදු දේපල සුරැකීම තුළින් ඔබ ඉතිරි කරනුයේ ඔබේම ධනයයි. එලෙස ඉතිරි වන ධනයෙන් ඉදිරි අනාගතයේ දී ඔබට වර්ථමානයට වඩා සුඛෝපභෝගී ජීවන පරිසරයක් නිර්මාණය වනු ඇත. ප්‍රවාහන පහසුකම් ආදිය, අධි වේගී මාර්ග ආදිය දියුණු වීම තුළින් ඔබේ ස්වර්ණමය කාලය ඉතිරි වනු ඇත. එසේ ඉතිරි වන කාලය විවේකී සුවයෙන් ගත කිරීමට අලුත් පංසල්, උද්‍යාන ආදිය නිර්මාණය වනු ඇත.
පොදු දේපල වල වටිනාකම දන්නා හදුනන අය, පොදු දේපල වලට ආදරය කරන අය ඒවා පණ සේ සුරකින බව නොඅනුමානය. ඔවුන් ආදරය කරන, සුරකිණු ලබන ඒ දේපල දිනෙන් දින ඔවුන්ගේ ජීවිත දියුණුව කරා රැගෙන යනු ඇත. ඔවුන්ගේ අනාගත පරපුර දියුණුව කරා රැගෙන යනු ඇත. එසේ නම් අවසාන ලෙස දියුණුවේ රන් දොරටු සොයමින් පසුවන ජාතියක් ලෙස දිවි හිමියෙන් අපි අප සතු පොදු දේපල සුරකිමු.
Comments