Skip to main content

Follow on YouTube

පොසොන් පොහොය දිනය රචනාව

ලංකාවේ බෞද්ධ ජනතාව වෙසක් උත්සවය සේම ඉමහත් වූ භක්තියකින් සහ උත්කර්ෂවත්ව පොසොන් පොහොය දිනය සමරනු ලබයි. ශ්‍රී ලංකාවට පළමු වරට බුදු දහම රැගෙන මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කිරීම ක්‍රිස්තු පූර්ව 247 දී පොසොන් පුර පසළොස්වක පොහොය දිනයක දී සිදු විය. මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කර එවකට ලංකා දිපයේ රජකම් කල තිස්ස රජතුමා හමු වී ධර්මය දේශනා කල මිහින්තලය සහ අනුරාධපුරය මුල් කර ගනිමින් සෑම වර්ෂයකදීම පොසොන් පුර පසළොස්වක පොහොය දිනය ලංකාවාසී බෞද්ධයින් ඉමහත් ගෞරවාදරයෙන් සමරනු ලබනුයේ ඒ අතීතය ද සිහි කරමිනි.

අතීතයේ ඉන්දියාව පාලනය කල මෞර්ය වංශික රජෙකු වූ අශෝක රජතුමා තම රාජ්‍ය පුළුල් කර ගැනීමට ඉන්දියාවේ අනෙකුත් රාජ්‍යයන් හා යුද්ධ කලහ. මුලු මහත් ඉන්දියාවේම බලය තම අණසකට ලබා ගනිමින් අශෝක අධිරාජ්‍ය නිර්මාණය කලද, කාලිංග නම් රාජ්‍ය සමග පැවති යුද්ධයේ දී වූ මනුෂ්‍ය ඝාතන දැක යුද්ධය පිළිබඳ දැඩි කලකිරීමකට අශෝක අධිරාජ්‍යයා පත්විය. එකී කලකිරීම කනස්සල්ල අතරේ කුඩා සාමණේර හිමි නමක් දැක බුදු දහම ගැන පැහැදී පැවති වෛදික සම්ප්‍රදායෙන් ඉවත් වී අශෝක රජු හිංදු දහම වෙනුවට බුදු දහම වැළද ගත් බවද පසුව ධර්මාශෝක ලෙස ප්‍රසිද්ධියට පත් බවද ඉතිහාසයේ සඳහන් වේ.

අශෝක රජුගේ රාජ්‍ය අනුග්‍රහය ලැබීමෙන් බුද්ධාගම විශාල ලෙස රාජ්‍යයන් පුරා පැතිර ගිය අතර තමන්ගේම පුතු වූ මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට පිටත් කර බුදුදහම ලංකා දීපයට රැගෙන ඒමට කටයුතු සැලසීම ධර්මාශෝක අධිරාජ්‍යයාගෙන් සිදු වූ විශාලතම කාර්යයක් ලෙස සැලකිය හැකිය. ක්‍රිස්තු පූර්ව 247 සිට අද දක්වාම නිර්මල බුදුදහම ශ්‍රී ලංකාව තුල නොනැසී පවතිනුයේ එසේ බුදුදහම ලක්දිවට රැගෙන ආ නිසාවෙනි.

මිහිඳු මහ රහතන් වහන්සේ එදා ලක්දිවට වැඩමවා ගෙන ආවේ ආගමක් පමණක්ම නොව බෞද්ධ සංස්කෘතියකි. එදා තිස්ස රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහය ලබමින් වෙහෙර විහාර දාගැබ් නිර්මාණය වීම ආරම්භ වූ අතර එදා සිට අද දක්වාම රටේ පාලකයින් බුදුදහම සුරැකීම මුල් කර ගෙනම තම පාලන කටයුතු සිදු කලහ. ජනතාවද යම් දිනෙක සත්‍යාවබෝධ කර ගෙන නිවන් දැකීමේ අරමුණින් දැහැමින් ජීවිත ගත කලහ.

ජනතාව පන්සල මුල් කර ගනිමින් තම ජීවන කටයුතු සිදු කිරීමට හුරු පුරුදු වූ අතර සංඝයන් වහන්සේලාගේ ඉගැන්වීම් දේශනා අනුව තම ජීවිත හැඩ ගස්වා ගනු ලැබීය. කුඩා කල සිට දහම් අධ්‍යාපනය ලැබීම නිසා දැහැමි සමාජයක් ගොඩ නැගුන අතර මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම වීමෙන් පසු ලංකා ජන සමාජයට ලැබුන වෙනස කියා නිම කල නොහැකිය.

වර්තමානය දෙස බලන විට දී ද පොසොන් උත්සවය බෞද්ධ ජනතාව ඉමහත් ගෞරවාදරයෙන් සමරනු දැකිය හැකිය. සිල් සමාදන් වීම ආදී ප්‍රතිපත්ති පූජා මූලික කර ගනිමින් ද, මල් පූජා, ආලෝක පූජා, දන් සල් ආදී ආමිස පූජාවන්ද රට පුරා දැක ගත හැකිය. ආලෝක පූජා මුල් කරගත් පහන් කූඩු, තොරන් ආදිය සේම විශේෂයෙන්ම මිහින්තලයේ අනු රූ නිර්මාණය කර ප්‍රදර්ශනය කිරීම ද පොසොන් උත්සවයේ දී  සුලභව සිදු වෙයි.

පොසොන් පුර පසළොස්වක පොහොය උත්සවයක් සේ සැමරීමේන් ඔබ්බට ගොස් බුදු දහමේ මූලික හරයන් සෙවීමට හැකි නම් ඒ ධර්මයේ හැසිරීමට හැකි නම් පොසොන් පොහොය තවත් අර්ථවත් වනු ඇත.

බුදු හිමියන්ගේ නුවණට හසු වුන සසර දුක එනම් තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය, නිරය ආදී විවිධ ලෝක වල ඉපදෙමින් ලෙඩ වෙමින් දුක් විද මිය යෑම අවසන් කර නිර්වාණය කරා ගමන් කිරීම, එනම් නැවත ඉපදීමක් නොවන ලෙස සසර අල්ලා ගැනීම අවසන් කිරීමට ථතාගතයන් වහන්සේ ඉගැන්වූ මාර්ගය මූලික කර ගනිමින් අඩු තරමින් මැදුම් පිළිවෙතක දිවි ගෙවීමට හෝ අපට හැකි නම් බුදු දහම ලංකා දීපයට රැගෙන ඒමේ මිහිඳු මහ රහතන් වහන්සේගේ අරමුණු වලට වඩාත් සාධාරණයක් වනු නොඅනුමානය.