සමාජ මාධ්‍යයන් නූතන ළමයා කෙරෙහි දක්වන බලපෑම අහිතකර බව හුදු පිළිගැනීම වී ඇත. සමාජ මාධ්‍ය හා ළමා පරපුර පිළිබඳව ඔබේ අදහස් දක්වා රචනාවක් ලියන්න.
අතීත ජන සමාජයේ ජීවත් වූ ළමයින් සිය මව් පියන්ගේ, ආච්චී සීයාගේ, ඥාතීන්ගේ ගුරු හරුකම් ලබමින්, ඔවුන් සෙවණේ වැඩෙමින් වයසින් මෝරත්ම ශිෂ්ඨ සම්පන්න මිනිසුන් බවට පත් විය. රූපවාහිනිය, පරිඝණකය හා ජංගම දුරකථනය ජන සමාජයේ සුලභ වීමත් සමග ළමයින් ආච්චි සීයා ඇතුළු තමාට සැබැවින්ම ආදරය ඇති ඥාතීන්ගෙන් පමණක් නොව දෙමාපියන්ගෙන් පවා ඈත්ව යාමත් සමග දත් නැති කාලයේ පටන් තමාගේ ජීවිත කාලය දුකෙන් හෝ සතුටින් සමාජ මාධ්‍ය තුල ගෙවා දැමීමට හුරු පුරුදු විය.
සැබැවින්ම අද සමාජයේ ළමයින් තම සීයා ආච්චිගේ නම දැන ගන්නේ පවා ඔවුන්ගේ මරණ දැන්වීමෙන් වීම යම් කණගාටුදායක තත්ත්වයක් යැයි ඔබට සිතිය හැකිය. නමුත් අපේ අනාගත දූ දරුවරු තම මව්පියන් වන අපගේ නම් ගම් පවා හරිහැටි මතකයක් නැති ජන මාධ්‍ය, සමාජ මාධ්‍ය තුල ප්‍රසිද්ධ අනෙකුත් සියළු දෙනා එදිනෙදා කන බොන දේ පවා දන්නා උන්මත්තකයින් වන හෙයින් එතරම්ම අන්ධ නොවූ අද සමාජය පිළිබඳව යම් සතුටක් අපට විදිය හැකිය.
"මානව ශිෂ්ටාචාරයේ තීරණාත්මක සාධකය ළමයායි"
සැබැවින්ම අද ළමයා යනු අනාගත මානව ශිෂ්ටාචාරයේ බීජයයි. අනාගත ශිෂ්ටාචාරය වෙනස් කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා පහසුම මග වනුයේ අද ජීවත්වන ළමා පරපුර අවශ්‍ය පරිදි හැසිරවීමයි.
එදානම් ළමයා උපතේ සිට දැනුම් තේරුම් ඇති වන තුරා හැසිරවූයේ ළමයාට සැබැවින්ම ආදරය ඇති මව්පිය ගුරුවරු හා නෑ හිත මිතුරන්ය. නමුත් නූතන ජන සමාජය තුල ළමයා වැඩිපුරම තම කාලය ගත කරන්නේ යූ ටියුබ්, ෆේස් බුක්, ටික් ටොක් වැනි සමාජ මාධ්‍ය තුළ වීම නිසා ළමයා හැඩ ගැසෙනුයේ ඒවා තුල දකින අහන දේ අනුවය. ළමයාට තම දෙමාපියන් පවසන දේට වඩා එම සමාජ මාධ්‍ය තුල පවසන දේ පිළිබඳව විශ්වාසය. තම දෙමාපියන් අදින පළදින දේට වඩා ළමයා දකින්නේ ටික් ටොක් තුල අයියලා අක්කලා අදින පළදින ආකාරයය.
අද ඒ අයියලා අක්කලා ඒ ලෙස අදින පලදිනුයේ හැසිරෙනුයේ ගෙදරටත් හොරෙන් විය හැකිය. නමුත් නොතේරුම් කාලයේ සිට එම වීඩියෝ නරඹන ළමයාට ඒවා සාමාන්‍ය සේ හැගෙන අතර ක්‍රමයෙන් වැඩී සමාජගත වන විට ඒ ළමයා ඒ දේවල් ප්‍රසිද්ධියේ සිදු කරනුයේ කිසිදු ලැජ්ජාවකින් හෝ පැකිලීමකින් තොරවය.
"නීතිය මගින් අඩු වයසකදී පූර්ණත්වය ලබන්නේ නම් මිස වයස අවුරුදු 18ට අඩු සියලු මනුෂ්‍යයන් ළමුන්ය".
1989 නොවැම්බර් මස 20 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරන ලද ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ සරල අදහස ඉහත දැක්වෙයි. ඒ ආකාරයට වයස අවුරුදු 18 ට අඩු සියලුම දෙනා ළමයින් ලෙස හැඳින්විය හැකිය.
කණගාටුදායක තත්ත්වය නම් සමාජ මාධ්‍ය නිතර තම ඉලක්කයට ගනුයේ මෙකී වයස 18 අඩු ළමයින් වීමය. එයට හේතුව නම් එම ළමයින් තම අවශ්‍යතා වෙනුවෙන් හැසිරවීම පහසු වන බැවිනි. සමාජ මාධ්‍ය පසුපස ඇති නොයෙකුත් අදෘෂ්‍යමාන හස්තයන් මුදල්ම අරමුණු කරගනිමින් මෙකී ළමයින් විවිධාකාරයෙන් බිල්ලට ගනී. එකී වක්‍ර ව්‍යාපාරික අරමුණු පිළිබඳව හය හතර නොදත් ළමයාට අවබෝධය ලබා දීමට වැඩිමනක් නූතන දෙමාපියන්ට නොහැකිය. මන්ද කාර්ය බහුල ජීවන රටාව තුළ දෙමාපියන් පවා විවිධ වූ සමාජ මාධ්‍යය මෙහෙයවීම් තුල ගිලී අතරමං වී ඇති නිසාය.
බුදු දහමට අනුව පෙර පින් හෝ පව් රැගෙන මෙලොව තුළ කොහේ හෝ උපත ලබන මනුෂ්‍යයින් ඒ පෙර පින් හා පව් වල යම් බලපෑමකට යටත් වෙමින් මෙලොව දී රැස් කර ගන්නා කුසල් දහම් අනුව ජීවත්ව මියැද නැවත භවයක උපත ලබයි. මෙකී චක්‍රයටද ප්‍රබල ලෙස බලපෑම් සිදුකරන නූතන සමාජ මාධ්‍යය සමාජය විපරිත කරමින් ළමා ජීවිත පවා අකාලයේ බිලිගත් අවස්ථා අසන්නට දකින්නට ලැබුණි.
තාක්ෂණය සමග නව්‍යකරණයෙන් බිහිවූ සමාජ මාධ්‍ය හරහා බොහෝ ඉගෙනුම් අවස්ථා ද ඇත. යූ ටියුබ් වැනි ෆ්ලැට් ෆෝම් එකක් විශ්ව දැනුම් සාගරයකි. උපයන්නන් හට මුදල් ආකරයකි. සමාජ මාධ්‍ය තුළින් ඈත්ව ජීවිත් වීම අද වන විට අපහසු නොව කල නොහැක්කකි. කල යුත්තේ සමාජ මාධ්‍ය අවශ්‍යතාවය අනුව අවශ්‍ය දේට පමණක් අවශ්‍ය වේලාවේදී භාවිතා කිරීමයි.
ඔබට ඔබගේ දැනුම වැඩි කර ගැනීමට සමාජ මාධ්‍ය භාවිතා කල හැකි නම්, ඔබට වෙනත් අයගේ දැනුම වැඩි කිරීමට සමාජ මාධ්‍ය භාවිතා කල හැකි නම්, ඔබගේ මානසික ආතතිය දුරු කර ගැනීමට සමාජ මාධ්‍ය භාවිත කල හැකි නම්, ඔබට වෙනත් අයගේ මානසික ආතතිය දුරු කර සතුටු කිරීමට ද සමාජ මාධ්‍ය භාවිතා කල හැකි නම්, ඔබගේ වැය වන කාලයට වටිනාකමක් දෙමින් සමාජ මාධ්‍ය භාවිතා කල හැකි නම්, අන්අයගේ වැයවන කාලයට වටිනාකමක් එකතු වන ලෙස සමාජ මාධ්‍ය භාවිතා කල හැකි නම් ළමා පරපුර හෝ මුළු මහත් සමාජය විනාශ කරනවායි යන දොස් සමාජ මාධ්‍යය වෙත එල්ල නොවනු ඇත.