සද්ධර්මරත්නාවලී කතුවරයා හාස්‍යය, උපහාසය හා අනුකම්පාව පෙරදැරිව චරිත නිරූපනයට පෑ චතුරතාව "උග්ගසේන කථාවස්තුව" ඇසුරින් විමසන්න.
දඹදෙණි යුගයේ දී ධර්මසේන යතිවරයාණන් විසින් බෞද්ධ ධර්ම කරුණු ඇතුළත් කරමින් රචිත "සද්ධර්මරත්නාවලිය" මාහැගි බණකථා සංග්‍රහයක් වේ. ධර්මසේන හිමියන් විසින් පාලි ධම්මපදට්ඨ කථාව ඇසුරින් සංගෘහිත මේ කෘතිය මගින් බෞද්ධ සාහිත්‍යයේ ප්‍රකට කථා වස්තූ සමූදායක් ශ්‍රව්‍ය ගෝචර මාධ්‍යයෙන් හෙළි කරනු ලබයි.
සද්ධර්මරත්නාවලියෙහි 256 වන කථා වස්තුව නම් "උග්ගසේන නම් සිටු පුත්හුගේ කථා වස්තුවයි." මෙම කථා පුවතෙහි එන උග්ගසේන නම් සිටු පුත්‍රයාගේ හා විද්දත් දියණියගේ චරිතය ශ්‍රාවකයින්ගේ හා පාඨකයින්ගේ චිත්ත සන්තානයෙහි හාස්‍ය, උපහාසය හා අනුකම්පාව පෙරදැරිව ජීවමාන ආකාරයෙන් ගෙන හැර පෑමට කතුවරයා ගත් උත්සාහය මෙතැන් සිට විමසා බලමු.
"ගැල් රකිනවුනගේ පුත, බර උසුලන්නවුගේ පුත, කුමකුත් නොදන්නවුගේ පුතැ කිය කියා නළවයි."
රූමත් බවින්ද, ශිල්ප බලයෙන්ද බලවත් සේ අහංකාර පරවශ සිත් ඇති වූ විද්දත් දියණිය උග්ගසේනයන්ගේ සිත තැලෙන වාග් ප්‍රහාර එල්ල කරයි. සිත රිදෙන අයුරින් හැසිරෙයි. ඇය සිඟිති දරුවා නළවන ව්‍යාජයෙන් උග්ගසේනගේ දෙසවනට ඇසෙන සේ පූර්වෝක්ත කවි කියයි. උග්ගසේන චරිතය කෙරේ දයානුකම්පාවකුත් විද්දත් දියණියගේ ළාමක ක්‍රියාකලාපය කෙරේ හාස්‍ය මුසු උපහාසාත්මක බවකුත් එකවර ජනිත කරවීමට මේ අවස්ථාවේදී කතුහිමියන් සමත් වෙයි.
"සිටු පුත්හු ද ගැල් රඳවාලා හුන් තැනදී ගොන්ට තණ ගෙනවුත් ලති. කෙළි දළු පෑ ඇවිදි තැන ලත් දෙයක් යන එන තැනට අදිති"
උග්ගසේන සිටු පුත්‍රයා ගොනුන්ට තණකොළ දෙමින්ද, බඩු භාණ්ඩ යන එන තැනට අදිමින්ද අප්‍රමාණ මෙහෙවර කරමින් වෙසෙයි. දුක් ගැහැට, නින්දා අපහාස විදිමින් ගත කරන ඔහුගේ දිවි පෙවෙත වෙත සානුකම්පිත දෘෂ්ටියක් හෙළන කතුවරයා නිරන්තර විද්දත් දියණියගේ සහ අනෙකුත් අයගේ අපහාස උපහාස නින්දා බසින් කලකිරුණු උග්ගසේනගේ මානසික ස්වභාවය මනාවට හෙළි දරවු කරයි.
උග්ගසේන විද්දත් දියණියගේ යථා ස්වරූපය දැන හැඳිනගත් පසු ඇයගෙන් මිදී ස්වකීය අභිමානය ගොඩනගා ගැනීමට කටයුතු කරයි.
"උග්ගසේනයෝ තමන් පානා කෙළි තමන්ම දක්නා පමණ මුත් රැස්වුවන් නොබලන නියාව දැන මුසුප්පුව ගොසින්"
විද්දත් දියණියගේ අහංකාර පරවශ ක්‍රියා කලාපයට එරෙහිව උග්ගසේනයන් දියත් කළ බුද්ධිමය මෙහෙයුම නම් ඇයගේ මානයට හේතු සාධක වූ ශිල්පය තමාත් හොඳින් ප්‍රගුණ කර අන්‍යයන්ට තමන්ගේ හැකියාවත් ප්‍රදර්ශනය කරීමයි.
බොහෝකල් ඇවෑමෙන් ඔහු ඔහුගේ ඉලක්කය වෙත ළගා වුණි. ඉන්පසු දෛවෝපගත අයුරින් තමන් උපන් නුවරදීම ශිල්ප දක්වන්නට තීරණය කෙරුණි. එහි දී කරුණා නිධාන වූ බුදුරඳුන්ගේ අදිටන් බලයෙන් රැස් වූ පිරිස උග්ගසේනයන්ගේ ශිල්ප දෙස නොබලා සිටීම කතුවරයා හාස්‍යෝත්පාදක ලෙසින් විශද කරයි. ඒ අවස්ථාවේ ඔහුගේ සිතෙහි ඇති වූ චංචල බව "මුසුප්පු" යන එක් වදනින්ම ගම්‍යමාන කරන්නට කතුවරයා සමත් විය.
පූර්වෝක්ත උපුටනයන්ගෙන් මෙන්ම කථාවස්තුව අධ්‍යනයෙන් අපට පසක් වන්නේ කථා වස්තුවේ ප්‍රධාන චරිත ද්විත්වයේ හැසිරීම් රටාව තුළින් උපහාසය, හාස්‍ය මෙන්ම අනුකම්පාවද තීව්ර කිරීමට කතු හිමියන් ප්රයාස ගෙන ඇති බවයි. එලෙස කථාවස්තුව ගොඩනැංවීම නිසා පාඨක ශ්‍රාවක සිත් සතන් ඇඳ බැඳ තබා ගැනීමට කතුවරයා යෙදූ උපාය සිතූ ආකාරයෙන්ම සාර්ථක වී ඇති බවද කිව මනාය.
- දිනූෂා ගමගේ -