පරමල් රසාස්වාදය
නව කවියේ සද උදාව ලෙස විචාරකයකුගේ ඇගයුමට පාත්‍ර වූ රත්න ශ්‍රී විජේසිංහ මහතා ප්‍රතිභා පූර්ණ කවියෙකි. රචකයෙකි. විචාරකයෙකි. 1953 ජුනි 1 වෙනි දා උපත ලැබූ රත්න ශ්‍රී විජේසිංහයන් හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය විදුහල, ගාල්ල රිච්මන් ඇතුළු පාසල් කිහිපයකින් අධ්‍යාපනය ලැබූ අතර උසස් පෙළ තෙක් විද්‍යා විෂයන් හැදැරීය. නමුත් විශ්ව විද්‍යාල ප්‍රවේශයට ලකුණු මදි වූ අතර පසුව ගුරු පුහුණු සහතිකයක් හා සිංහල ගෞරව උපාධියක් ලබා ගෙන ගුරුවරයෙකු ලෙස සේවය කළේය.
රත්න ශ්‍රී විජේසිංහ මහතා නිදහස් කවියේ දෙවන තරංගය බහුජන වින්දන මාධ්‍යයක් බවට පත්කිරීමට මෑත කාලයේ ඉහළම දායකත්වයක් දැක්වූ මානවවාදී කවියා ලෙස පෙන්වා දිය හැකිය. වර්තමානයේ රසික සිත් තුළ ආකර්ෂණය දිනා ගෙන සිටින ජනප්‍රිය සාහිත්‍යවේදියෙකු වන හෙතෙම නව කවියේ අදුරු යුගය ආලෝකය කරා රැගෙන ඒමට සමත් විය.
තරුණ පරපුර වනාහි රටක අනාගත පැවැත්ම උසුලන්නට සැරසෙන පිරිසකි. ස්වභාවයෙන්ම තරුණයා අලුත් දේ අගයන චරිතයකි. අලුත් දේ ඇගයිය යුතු නමුත් අතීතයේ පැරණි දෑ අමතක කර දා අලුත් දේ වැළඳ ගැනීම වැරදි සහගතය. තරුණයින් රටක ජීව නාලය වුවද වැඩිහිටියන් වයසින් වැඩුණු, දැනුමින් වැඩුණු, පළපුරුදු හා දැනුම් සම්භාරයක් ඇත්තෝය. ඔවුන් රැකගෙන පැමිණි සංස්කෘතියට වටිනාකමක් ඇත. වැඩිහිටියන් හා අතීත සංස්කෘතියක් නොමැති ලොවක තරුණ පරපුරක් ගැන සිතිය නොහැකිය.
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ "පරමල්" නමැති පද්‍ය නිර්මාණය වියපත් වූ වැඩිහිටි පරපුර සමාජයට කළ මිල කල නොහැකි විශිෂ්ට සේවය, ඔවුන් දායාද කල අතීත සංස්කෘතිය අමතක කොට ඔවුන්ව නොසලකා හරින ආකාරයේ පාඨකයන්ගේ අවධානයට ලක් කරන පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් රචිත පැදි පෙළකි. මෙම පැදි පෙළ නිර්මාණය කිරීම තුළ කවියා කොතෙත් දුරට සාර්ථක දැයි මෙසේ විමසා බලමු.
අලුත් මල් පොකුරු අරගෙන එන්න
පින්වතුනි, එන අයට ඉඩ දෙන්න
එපා පර මල් පයින් පාගන්න"
මෙම පද්‍ය පන්තිය සරල වග් මාලාවකින් නිර්මාණය කොට ඇතැයි සිතුනද ඉතා ගැඹුරු ජීවන දෘෂ්ටියක් පෙන්නුම් කරන නිර්මාණයකි. කවියා මෙයට ප්‍රස්තුත කරගත්තේ පූජස්ථානයක පරවී යන මල් ය. මල් පූජාවේ සංකේතය වන්නේ මල් පරවී යන අයුරින්ම කයද පරවි විනාශය කරා යන බවයි. මෙම පැදි පෙළ ආරම්භ කරන කවියා සහෘදයා හමුවේ ලක්දිව පිහිටි කිසියම් ජනාකීර්ණ පූජනීය ස්ථානයක තදබදයෙන් පිරුණු පරිසර වටපිටාවක් සිත් තුළ මවාලයි. මෙවැනි ස්ථානයක පවත්නා තදබදය අවම කිරීම සඳහා වන අණ කිරීමක් ස්වරූපයෙන් මෙය නිර්මාණය කොට තිබේ. පද පෙළින් අවසන් පදය තුළින් ඒ බව ගම්‍ය වේ. සාමාන්‍ය කතා ව්‍යවහාරය නොඉක්ම වූ භාෂා විලාසයක් සමස්ත කවි පෙළෙහි භාවිත වුවද එය උචිත ලෙස සකස් කොට තිබේ. පද්‍ය පන්තියෙහි ධ්වනිතාර්තය ඉතා ප්‍රබල ලෙස පූජස්ථානයට අලුතින් පැමිණෙන උන් හට පඩිපෙළින් බැස අයින් වී එන ලෙස ඇරයුම් කරයි. ඔව් රැගෙන එනුයේ අලුත් මල් පොකුරුය. එම අළුත් මල් වලින් ව්‍යංගවත් කරනුයේ සමාජයේ නව අදහස් සහිත තරුණ ප්‍රජාවයි.
මේ පද පෙළ තුල යටි පෙළ හෙවත් ව්‍යාංගාර්ථය ගැඹුරින් පිරික්සන විටදී රත්න ශ්‍රී විජේසිංහයන් සමාජයට සපයන ආදර්ශය විශ්මිත බව හැගෙයි. මෙහිදී ඔහු පවසන්නේ පරමල් නම් අපේ පැරණි සංස්කෘතිය පාගා විසිකර නොදමා එම සංස්කෘතියන් රැකගෙන නූතන සමාජයේ ජීවත් විය යුතු බවයි. අලුත් අලුත් දේ අත්හදා බලමින් නව නිෂ්පාදන සිදු නොකර මානවයාට දියුණු විය නොහැකිය. එය තාක්ෂණික වේවා සමාජීය වේවා සෑම ක්ෂේත්‍රයටම පොදුය. විය යුත්තේ නව තාක්ෂණය හා බද්ධ වෙමින් නව සම්ප්‍රදායන් ඉගෙන ගැනීමේ දී පැරණි සම්ප්‍රදායන්ගේ හොඳ ලක්ෂණ ඉවත නොදමා එවා රැක ගෙන ඉදිරියට ගමන් කිරීමයි. රත්න ශ්‍රී විජේසිංහයන් පන්සලක මල් පූජා කරන අවස්ථාවක් වචනාර්ථයෙන් ප්‍රකාශ කරමින් ව්‍යාංගවත් කරන මේ ගැඹුරු දහම අපි විමසිල්ලෙන් තේරුම් ගත යුතු වෙමු.
කැඩුණු පෙතිවල තිබෙන මුදු මෙළෙක
මහලු මව් කෙනෙකුගේ මුව රැදුණ
සිනාවක් සේ ප්‍රේමයෙන් පිරුණ"
මෙහිදීත් කවියා වචනාර්ථය ඉක්මවා ගිය බොහොමයක් දේ ප්‍රකාශ කර සිටී. අතීත සම්ප්‍රදායන් තුල ඉද හිට දෝෂදර්ශී දේ තිබුණ ද බොහොමයක් සමාජ හිතවාදී මානව හිතවාදී ගුණ ධර්මයන් ය. "පරමල් සුවද" ලෙස දැක්වෙන්නේ එයයි. "මහලු මව් කෙනෙකුගේ මුව රැදුණ සිනාවක් සේ" යනුවෙන් කවියා ගෙන එන උපමාවේ සුන්දරත්වය, නිර්ව්‍යාජත්වය අසීමිතය. පරවෙන මලක පෙති මෙන් කැඩීයන, විනාශ වන අපේ සම්ප්‍රදායන් රැක ගැනීම නව ලෝකයකට ගමන් කිරීමේදී පවා අත් නොහල යුතු බව කවියා මෙසේ පසක් කරයි.
අපරිමිත පැතුම්වල මුහුණුවර
සිය දහස් අත්වලින් පුදන ලද
උතුම් මිනිසත් කමේගුණ සුවඳ
බලන් තවමත් සුවඳ දෙන මහිම!"
සිය දහස් අත්වලින් පුදන ලද"
තිබේ පුදසුන හිස්ව ඔබ පිණිස
අලුත් මල් පොකුරු දෝතින් ගන්න
එපා පරමල් පයින් පාගන්න "
අලුත් මල් පොකුරු නම් නූතනත්වය දෝතින්ම වැළද ගමු. නමුත් අපගේ සාම්ප්‍රදායන් පාගා පොඩිකර දැමීමට අපට නොහැකිය. අද අප මෙසේ ජීවත් වන්නේ අතීත මිනිසුන් පවත්වාගෙන ආ ඒ සාම්ප්‍රදායන් නිසාය. ඒවා කලින් කලට වෙනස් වේ. නමුත් එසේ වෙනස් වීමේදී අත්හල යුතු කොටස සහ අත් නොහල යුතු කොටස මනාව අවබෝධ කර ගැනීමට අපි වග බලා ගත යුතු වෙමු.
මෙසේ විමසන කල දී සාහිත්‍ය නිර්මාණයක හදුනාගත හැකි උඩු පෙළ වාචාර්ථය හා යටි පෙළ ව්‍යාංගාර්ථය මැනවින් දිස්වන අපූරු සාහිත්‍ය නිර්මාණයක් ලෙස ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් නිර්මාණය කොට ඇති රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පරමල් පද්‍ය පන්තිය පැසසිමට ලක් කල යුතුය.
Comments