Skip to main content

සිංහල විචාර 105 - ගුත්තිල කාව්‍ය විචාරය 06

ගුත්තිල කාව්‍ය විචාරය  (මූසිල චරිතය)

ගුත්තිල කාව්‍ය තුල දැක්වෙන මූසිලගේ චරිතය පිළිබඳව නිදසුන් ගෙනහැර දක්වමින් විමර්ශන කරන්න.

ගුත්තිල ජාතකය ඇසුරු කොට ගනිමින් වෑත්තෑවේ හිමියෝ ගුත්තිල කාව්‍ය නම් විශිෂ්ට කාව්‍ය සංග්‍රහය රචනා කලහ. ගුත්තිල ජාතකයේ දැක්වෙන කතාවේ දෙව්දත් තෙරුන්ගේ නුගුණ පෙන්වීම බහුලව දැකිය හැකි වෙයි. නමුත් වෑත්තෑවේ හිමියන් ගුත්තිල කාව්‍ය රචනයේ දී දෙව්දත් තෙරුන්ගේ පූර්ව භවයක් වූ මූසිලගේ චරිතය යම් සාධාරණීය කරණයකට ලක් කර ඇතැයි සිතෙයි. 

"ඉදිමියි නො වී                     ණ ය
 දක්වා සිල්ප වී                     ණ ය
 සමග උප වී                         ණ ය
 රැගෙන දැඩි කොට සදා වී  ණ ය"

මූසිල යනු ආර්ථික අතින් පිඩාවට පත් තරුණයෙක් වූ අතර වීණා වාදනයට ද හැකියාවක් තිබුණි. වීණා වයා වෙළදුන් සතුටු කොට මුදල් ඉපැයීමේ නිරත වූයේ ණය නොවී ජීවත් වීම සඳහා ය. නමුත් වෙළදුන් සතුටු කිරීමට වීණා වැයූ අවස්ථාවක දී මූසිලව වෙළදුන් සමච්චලයට ලක් කරන්නේ මෙලෙසිනි.

"ඇඳුරු තුටු නොවෙ              ති යි 
 ගොසින් අප සිප් හොඳ        ති යි
 උතිමූ වෙණ සද                     ති යි
 නොදන්නමු ගායනා කෙරෙ ති යි"

ගුත්තිලයන්ගේ වීණා වාදනය අසා ඇති වෙළදුන් ඉදිරියේ මූසිල වීණා වාදනය කරනුයේ තමට ඡීවත් වීමට යම් මුදලක් උපයා ගැනීමේ යටියෙනි. එහෙත් මූසිලගේ වීණා වාදනය ගුත්තිලයන්ගේ සුමධුර වීණා වාදනය අසා ඇති වෙළදුන්ගේ දෙකන් පිනවීමට තරම් නොවීය. මූසිල වාදනය කල ද වෙළදුන් මූසිලව සමච්චලයට ගනුයේ තමන් සිතා සිටියේ මූසිල තවම වීණාව සුසර කරන බව යැයි කියාය. වීණා වාදනයට හැකියාව තිබුණ ද ගුත්තිල පඬිතුමාට සාපේක්ෂව මූසිල දක්ෂයෙකු නොවූයෙන් වෙළදුන් ඉදිරියේ සාර්ථක වීමට මූසිලට නොහැකි විය.

"එසේ උවහොත්                    හී මී
  ඔහුට මම අතවැසි             වෙ මී 
  මෙමිල ආපසු                       දෙ මී
  මමත් ඔබ යනකල සමග යෙ මී"

කවි කරුවා මූසිල ඔසවා තැබූ ආකාරයක් මෙහිදී පෙන්නුම් කරයි. තමාගේ වීණා වාදනය ගුත්තිල පඬිතුමාගේ වාදනය තරම් දක්ෂ නොවේ නම් තමන් ගුත්තිලයන්ගෙන් ඉගෙන ගත යුතු යැයි මූසිල සිතයි. මේ ආකල්පය නිසැකව පැසසිය යුතුය. අධ්‍යාපනය ලැබීම සඳහා මූසිල තුල වූ උනන්දුව සේම තමාගේ නොහැකියාව තේරුම් ගෙන පිලිගෙන, තමාගේ දක්ෂතා වර්ධනය කර ගැනීමට මූසිල තුල වූ ආකල්පය මෙහිදී විද්‍යාමාන වේ. 

මෙහිදී ප්‍රකාශිත මූසිලයන්ගේ තවත් ගුණයක් නම් තමාගේ වාදනය තුළින් වෙළදුන් සතුටු නොවූයේ නම් තමාට දුන් මුදල් ආපසු දීමයි. වාදනය වෙනුවෙන් අය කල මුදල් ආපසු වෙළදුන්ට දී ගුත්තිලයන්ගේ දෙමාපියන් හට බැලමෙහෙවර කොට ගුත්තිල ගෙන් වීණා වාදනය ප්‍රගුණ කිරීමට තරම් මූසිල නිහතමානී විය. මූසිල චරිතයේ එය තවත් එක් යහපත් පැත්තක් ලෙස පෙන්විය හැකිය.

මූසිල ගුත්තිල පඬිතුමාගේ දෙමාපියන්ට බැලමෙහෙවර කරමින් වීණා වාදන ශිල්පයේ අග්‍රයට පැමිණෙයි. ශිෂ්‍යයෙකු ලෙස මූසිල වර්තමාන ශිෂ්‍ය ප්‍රජාවට පවා ආදර්ශයකි. ඔහුගේ අධ්‍යාපනය කෙරෙහි වූ කැපවීම අපරිමිත ය. 

එසේ නමුත් අධ්‍යාපනය යනු විෂය දැනුම ම පමණක් නොවෙයි. මානව ගුණධර්ම ගිලිහී යයි නම් එම අධ්‍යාපනය පරිපූර්ණ නොවෙයි. වර්තමානයේ දී පවා මෙවැනි සිදුවීම් සුලභ ය. මූසිලට ද එසේ සිදු වුනි දැයි සිතෙයි. 

"හිමි ඔබ ඉදි                     රි යේ
 වැයුවත් වෙණ ඉදි          රි යේ
 සිල්ප එක ස                     රි යේ
 එයින් දුන මැනවි පඩි ස රි යේ"

අද මෙන් එදත් පැවතියා වූ වැටුප් විෂමතාවය නිසා අසරණ වූ මූසිල මෙසේ රජු ඉදිරියේ පවසනුයේ තමාට ද ගුත්තිල හා සම වැටුප් ලබා දෙන ලෙසටය. බැලූ බැල්මට මූසිලගේ ඉල්ලීමෙහි වරදක් නොපෙනෙයි. ඔහු අනේක විද කැප කිරීම් කර උගත් ශාස්ත්‍රයට නිසි වේතනයක් හිමි විය යුතුය. 

එහෙත් ඔහු එම ඉල්ලීම කරන ආකාරය තුළ මානව ගුණධර්ම පිරිහී ගිය සැටි ඉස්මතු වෙයි. තමා ගුත්තිලයන් හා තරගයට වාදනය කල හොත් වයෝවෘද්ධ ගුත්තිල ලැජ්ජාශීලී ලෙස පරාජය වන බව පවසමින් උඩඟුවට පත් වීම මූසිල චරිතයේ දුර්ගුණයකි. මෙසේ පහත් කොට කතා කරනුයේ තමාට ශිල්පය දුන් ගුරුවරයාට වීම ඉතා කණගාටුදායක වේ. මේසේ ගුරුවරයා හා වාදයකට යෑම මූසිල සිදු කරන අනූන ක්‍රියාවක් ලෙස දැක්විය හැකිය. 

කෙසේ වෙතත් ගුත්තිල හා වාදයට ගිය මූසිල අවසානයේ පරාජය ලබයි. මෙහිදී ගුත්තිල මූසිල වීණා තරගය තුල මූසිලට යම් අසාධාරණයක් සිදුවූ බව කිව යුතුය. මන්ද ගුත්තිල ශක්‍රයාගේ උදව් ලබා ගනිමින් මූසිලගේ වීණාවේ තත් කඩා අසරණ කොට ලබා ගන්නා ජයග්‍රහණය ජයග්‍රහණයක් යැයි නොසිතෙයි. මූසිල තම ගුරුවරයා හා තරගයට එළැඹීමේ දුර් ක්‍රියාව නිසා අයහපතින් අයහපත පැරදූ තරගයක් විනා සාධාරණ තරගයක් එහිදී සිදු නොවීය. 

මේ සියල්ලගේ අවසන් ප්‍රතිඵලය ශ්‍රාවක පාඨක සිත් කම්පනය කරන්නේ මෙලෙසිනි.

"යන ඔහු අසර                          ණි න් 
 දුටු දුටු දනෝ උර                      ණි න්
 තමන් බල පම                     
   ණි න්
 දෙමින් බැට කැට මුගුරු පහ ණි න්"

පරාජයට පත් වූ මූසිලට ගල් ගසමින් අසරණ කරමින් නින්දා කරමින් නගරයෙන් පවා පන්නා දමයි. ඉතා ඕනෑ කමින් ශිල්ප හදාරා ගුරුවරයා තරමට දක්ෂ වූ ශිෂ්‍යයෙකුට මෙවැනි ඉරණමක් අත්වීම ශෝක ජනකය. අනුමත කල නොහැකිය. 

තමාට හිමිවිය යුතු වැටුප් වෙනුවෙන් හඬ නැගූ මූසිලගේ යම් දුර්ගුණ වේ නම් ඒවා පෙන්වා දී නිසි මගට ගෙන නිසි වැටුප් දී තවත් ගුත්තිල පඬිවරයෙක් බිහි කරනුවා වෙනුවට ගුත්තිල හා තරගයකට යොමු කල රජ තුමා මෙන්ම අසාධාරණ ලෙස තරගය ජය ගත් ගුත්තිල පඬිවරයා ද, මූසිලට ගල් ගැසූ වීණාවක් වාදනයට නොව වීණාවක් අල්ලාවත් නැති නූගත් හුදී ජනයා ද මූසිලගේ අනාගතය, මූසිල චරිතය එසේ විනාශ කළෝය.

Comments