Skip to main content

සිංහල රචනා 58 - ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය කෙරෙහි බෝ නොවන රෝග වල බලපෑම රචනාව



ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය කෙරෙහි බෝ නොවන රෝග වල බලපෑම

රටක ආර්ථික වශයෙන් ක්‍රියාකාරී ජනතාව ශ්‍රම බලකාය ලෙස සරලව හැදින්විය හැකිය. ශ්‍රී ලංකාවේ වයස 18 සිට 55 දක්වා නිෂ්පාදන ක්‍රියාවලියට සක්‍රීයව දායක විය හැකි පිරිස ශ්‍රම බලකාය යනුවෙන් හැඳින්විය හැකිය.

ශක්තිමත් ශ්‍රම බලකායක් සිටී නම් රටක නිෂ්පාදන ක්‍රියාවලිය වඩාත් සාධනීය තලයක පවත්වාගෙන යෑමට එය ඉතා පිටි වහලකි.

වර්තමාන ලංකාවේ ශ්‍රම බලකාය දුර්වල කරන්නා වූ ප්‍රධාන සාධකයක් ලෙස බෝ නොවන රෝග හදුනාගත හැකි අතර ඒවායේ බලපෑම සහ ඒවා වළක්වා ගැනීම කෙරෙහි මෙසේ අවධානය යොමු කරමු.

මිනිසාට වැළදෙන රෝග පිළිබඳව සොයා බැලීමේ දී එම රෝග බෝවන රෝග සහ බෝ නොවන රෝග ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය. පාචනය, කොලරාව මෙන්ම අප මෑතක දී මුහුණ දුන් කොරෝනා වැනි වසංගත තත්ත්ව බෝවන රෝග ගණයට අයත් වන අතර මේවා කිසියම් කාල සීමාවක දී සීග්‍රයෙන් ව්‍යාප්ත වී නැවත තුරන් වීම හෝ රෝගීන් අවම වීම සාමාන්‍යයෙන් සිදු වෙයි.

කොරෝනා වැනි වසංගත ශ්‍රම බලකායට විශාල තර්ජනයක් කර ආර්ථිකය සමතලා කල බව සත්‍ය වේ. එහෙත් එවැනි වසංගත ප්‍රතිශක්තීකරණ එන්නත් ආදීය මගින් පාලනය කර ගැනීමේ හැකියාව පවතී. එසේ නමුත් බෝ නොවන රෝග ගණයට අයත් දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, ආඝාතය ආදී රෝග වැළදීමෙන් ශ්‍රමිකයාට ජීවිත කාලය පුරාම බලපෑම් කරන බැවින් ශ්‍රම බලකාය කෙරෙහි බෝ නොවන රෝග වල බලපෑම ඉතා විශාලය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේද ශ්‍රම බලකාය කෙරෙහි බෝ වන රෝග වලට වඩා වැඩි බලපෑමක් සිදු කරනුයේ බෝ නොවන රෝග බවයි. දියවැඩියාව වැනි රෝග තත්ත්වයක් සෑදුන විට පුද්ගලයාගේ එදිනෙදා ජීවිතයට එය විශාල බල පෑමක් සිදු කරයි. අලස බව, නිදිමත ගතිය දවස පුරා පවතින විට ඔහුගෙන් නිෂ්පාදන ක්‍රියාවලියට වන දායකත්වය, ගුණාත්මක භාවය සැලකිය යුතු ලෙස ඌනනය වීම සිදු වෙයි. එවැනි රෝග වසර ගණනාවක් ඖෂධ ලබා ගැනීමෙන් පවා සුව කර ගැනීම ඉතා අපහසු වීම තුල ශ්‍රම බලකායට එයින් සිදුවන හානිය මෙතැකැයි කිව නොහැකිය. 

එපමණක් නොව අධි රුධිර පීඩනය, හෘදයාබාධ වැනි රෝග නිසා හදිසි අකල් මරණ සංඛ්‍යාව විශාල ලෙස වර්ධනය වන බව රජයේ දත්ත වාර්තා මගින් දැක ගත හැකිය. මෙලෙස අහිමිවන ජීවිත යනු බොහෝ විට රටේ පුහුණු ශ්‍රමිකයන්ය. පුහුණු ශ්‍රමිකයන්ගේ ජීවිත අහිමි වීම ශ්‍රම බලකායේ සංඛ්‍යාත්මක අගය අඩු වීම රටකට රටේ ආර්ථිකයට විශාල පාඩුවකි. නිවසක පියා හෝ මව මෙසේ මිය යාමෙන් හෝ පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමෙන් එම නිවසේ වෙසෙන දරුවන්ගේ අනාගතයටද විශාල බලපෑමක් සිදු කරයි. එනම් අනාගත ශ්‍රම බලකායට ද එමගින් සිදු වන්නේ මිල කල නොහැකි පාඩුවකි.

රජයේ රෝහල් තුල මෙවැනි බෝ නොවන රෝග සඳහා පරීක්ෂණ සිදු කිරීමටත්, ප්‍රතිකාර කිරීමටත් පහසුකම් නැතුවාම නොව. නමුත් පූර්ණ ලෙස සුව කිරීම අපහසු මෙවැනි ලෙඩ රෝග පාලනය කෙරෙහි රෝහල් වලට කල හැකි කාර්යභාරය සීමිත වේ. දියවැඩියාව, හෘදයාබාධ ආදී බෝ නොවන රෝග බොහොමයකට හේතුව වැරදි ආහාර පුරුදු හා සෞඛ්‍යයට අහිතකර ආහාර බව හැමෝම හොදින්ම දන්නා කරුණකි.

නමුත් දැන දැනත් එවැනි ආහාර පරිභෝජනයට ජනතාව හුරු වී සිටීම මේ තත්ත්වය පාලනයට ඇති දැඩි බලපෑමකි. කාර්යය බහුලත්වය වැඩි වීමත් සමග ක්ෂණික ආහාර භාවිතය වැඩි වීම, තෙල් සහ සීනි අධික ෂෝටීස්ට් වර්ග සුලභ වීම, කෘතීම රසකාරක සඳහා ඇති පුරුදු අත්හැරීම අපහසු වීම බෝ නොවන රෝග පාලනයට ඇති ප්‍රධාන බාධක ලෙස සැලකිය හැකිය. 

එහෙත් මෙකී බෝ නොවන රෝග පාලනය කර ශ්‍රම බලකායට එයින් වන හානිය අවම කිරීමට රජයකට ඇති වගකීම මතක් කල යුතුය. ශරීරයට අහිතකර ආහාර ද්‍රව්‍ය සඳහා පාලනයන් යෙදීම හා හිතකර ආහාර ප්‍රවර්ධන ඒ අතරින් ප්‍රධාන වේ. පැවති විවිධ රජයන් එවැනි ක්‍රියාමාර්ග බොහොමයක් ගත්තද ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවූයේ ව්‍යාපාරිකයන්ගේ අසීමිත බලයට රජය යටත් ව සිටීම නිසාය. 

මෙවැනි ප්‍රශ්න වලට කඩිනම් විසදුම් ගෙනෙමින් ජනතාවට සෞඛ්‍යාරක්ෂිත ආහාර පාන ලබා ගැනීමට ඉඩ සලසමින් රටේ ශ්‍රම බලකායට බෝ නොවන රෝග වලින් සිදුවන බලපෑම අවම කිරීමට රජයට විශාල වගකීමක් පවතී. 

සෑම දෙයම රජයෙන් බලාපොරොත්තු නොවී තමාගේ සෞඛ්‍ය කෙරෙහිවත් අවධානය යොමු කරමින් සෞඛ්‍යයට හිතකර ආහාර ලබා ගැනීම, අහිතකර ආහාර වලින් වැළකීම සඳහා ජනතාව කටයුතු කල යුතුය. එසේම තමාට රෝගයක් ඇතැයි දැනෙන මුල් අවස්ථාවේ දීම ඒ සඳහා ප්‍රතිකාර වෙත යොමු වීම ද ජනතාව සිදු කල යුතුය. එසේ එකිනෙකා තමාගේ සෞඛ්‍ය ගැන සිතයි නම් බෝ නොවන රෝග වලින් රටේ ශ්‍රම බලකායට සිදු වන බලපෑම විශාල ලෙස අවම වනු ඇත. 




Comments