Skip to main content

සතුට පද්‍ය රසාස්වාදය 01

සතුට පද්‍ය රසාස්වාදය

 "කවිය ඇත්තේ පොත් තුළ නොවේ රසිකයාගේ හදවත තුළ ය. පොත් රාක්ක වලට කවි රස විදීමට නොහැක" 

       (සඳුන් අරටුව - ලාල් හෑගොඩ )

පොත් රාක්ක වලට කවි රස විඳීමට නොහැක. ඒවා ඔබ අප පැමිණෙන තුරු බලා සිටී. නූතන කවියාගේ නිර්මාණ අගයන අපට හමුවන එක් සුන්දර කවියෙකු ලෙස ලාල් හෑගොඩයන් හැදින්වීම නිවැරදිය. ලාල් හෑගොඩ සූරීන්ගේ කවි කම් සැඟවී ඇති පොත් අතර මා මිනිසෙක් ඔබ ගඟක් නිසා, පසළොස්වක සඳ මගේය, ගඟ වක් වී ගලන තැන, මෙකව මෙතැනින් නවතමි, කෝමළනී යන කවි පොත් ද මතකයට නැගෙයි.

කවියෙකු තමන් රචනා කරන පොත් පත් මිනිසුන් ආශාවෙන් පරිශීලනය කරයි යැයි හිතේ දහසකුත් බලාපොරොත්තු තබා ගෙන වෙහෙස මහන්සියෙන් රචනා කරන පොත් පත් කියවන්නේ අප කී දෙනා ද? අප කියවා ඇත්තේ ඔවුන්ගේ පොත පතින් කීයෙන් කීයද ? . ලාල් හෑගොඩයන්ගේම ප්‍රකාශයක් තුලින් මෙසේ කියවී ඇත. 

"සමහරුන් හැසිරුනේ මා පොතක් පල කල බවවත් නොදන්නා ලෙසිනි. කනස්සල්ල ඒ ගැනය"

කවියාගේ කවියට වටිනාකමක් දිය හැකි වන්නේ පාඨකයාටයි. කවි රසය රස විදීමට ලැදි රසවින්දනයක් ඇති වන්නේ ද කවි රස විදීමෙන්ම පමණි. රසවින්දනයට ඉතාම සුදුසු උසස් ගණයේ කවි රැසක් තිලිණ කර ඇති ලාල් හෑගොඩයන්ට ගෞරවයක් දිය හැකි නම් ඒ ඔහුගේ කවි රසවින්දනයෙන්ම පමණි. 

සමන් දෙවියන්ගේ අඩවිය අප කාගේත් සිත් තුල ගෞරව භක්තිය දනවන සුවිශේෂ වූ ස්ථානයකි. සමන් දෙවි අඩවියේ වූ ශ්‍රී පාදස්ථානය වන්දනා මාන කිරීමට දෙස් විදෙස් දහස් ගණන් ජනයා වාර්ෂිකව සැදී පැහැ දී සිටී. එම ශ්‍රී පාද කරුණා කරන අපගේ උක්ත කවියා ලාල් හෑගොඩයන්ගේ අපූරු සිතුවිලි සමුදායක් කැටි කොට ගත් "සතුට" නම් නිදහස් ආරේ කවි පෙළ රස වින්දනය කිරීමම සිතට සතුටක් ගෙන දෙනු ඇත.

"සිරිපා සීතල නොවේ මේ 
 දැවටෙන්නේ සේද සළුවක් සේ 
 සතුටු සිතුවිල්ලක් මිස 
 සිත පුරා"

සමනල අඩවියට ප්‍රවේශ වන කෝඩු කාර තරුණයෙකුගේ දෘෂ්ටියෙන් කවිය ආරම්භ කරන ලාල් හෑගොඩ සූරීන් අපගේ සිත් තුල යම් කුතුහලයක් ඇති කරයි. සේද සළුවක් ඇඟේ ඇතිල්ලෙන ආකාරයට ඇඟේ දැවටෙන්නේ සාමාන්‍යයෙන් නම් සමනොල අඩවියේ ඇති සීතලයි. නමුත් කවියා පවසන්නේ ඒ එසේ නොවන වගයි. එසේ නම් ඒ කුමක් ද ? . කවියා පවසන ආකාරයට සිත පුරා පිරී ගිය සතුටක් තමයි ඒ සේද සළුවක් ලෙසින් ඇඟේ දැවටෙමින් තිබෙන්නේ. මෙහිදී සිරිපා සීතල පරදන ඒ සතුට කුමක් දැයි පාඨකයාගේ හදතුල කුතුහලයක් ඇති වන්නේ නිරායාසයෙනි.

සිරිපා කරුණා කරන මේ කෝඩුකාර යෞවනයාගේ සිතේ ඇති වූ සතුටු සිතුවිල්ල කුමක් දැයි අපි සොයා බලමු.

"අලුත් ලෙයක් නහර වැල් දිගේ ගලයි 
 අලුත් මල් පිපී තිබේ නම් නොදත් 
 අලුත් ලයකි සැදැහැවතුන්ගේ කරුණා හඬෙහි 
 සැහැල්ලුය සිරුර නැත විඩාවක්"

සිරිපා කරුණා කරනා මේ කෝඩුකාරයාගේ ගතේ විඩා නිවූ ඒ ලේ නහර දිගේ ගලා යන අමුතු සිතුවිල්ල, නන් දෙසින් සිරිපා කරුණාවට පැමිණි පිරිස අතර වූ යෞවනියක ගැන දැයි සැක උපදවයි. නම් නොදත් අලුත් මල් යනු එසේ පැමිණි තරුණියන් වග සිතිය හැකිය. ලාල් හෑගොඩ කවියා තම සිතුවිලි ව්‍යංගව පැවසීම තුල කවි පෙල රසවිදීම කෙරෙහි පාඨකයා තදින්ම පොලඹවා ගන්නා ආකාරය සිත් ගනී.

පඩියෙන් පඩිය නැග කෝඩුකාරයා උඩ මළුවට පිවිස සිටී. ඔහුගේ හදෙහි ඇති නිම් හිම් නැති සතුට ප්‍රකාශ කල ආකාරය හරි අපූරු යි. වචන වලින් විස්තර කිරීමට අපහසු ඒ සතුට ගැන කවියා තනි කවි පදයකින් පවසා ඇත්තේ මෙසේය.

"නිමිත්තක් නැති සතුටකි"

කොළඹ යුගයේ නිදහස් කවි පරපුරේ කවීන්ගේ ලක්ෂණ මනාව නිරූපණය කරන අවස්ථාවකි මෙය. තමා නෙත ගැටි නම් නොදත් යෞවනියක පිළිබඳව සිතෙහි ඇති වූ සතුටු හැගීම වචන රාශියකින් විස්තර කිරීමට වඩා මෙසේ හිස් ගතියකින් යුතුව තනි කවි පදයකින් පැවසීම ඒ හැගීමට උපරිම සාධාරණයක් ගෙන දුන් බව හැගෙයි.

"පහළට කරුණා කරමින් 
සිත තුළ ද සැරි සරමි 
නිමිත්ත සොයා මේ සතුටු හැඟුමේ"

උඩ මළුවේ සෙනඟ අතර ඔහු හිත් ගත් යෞවනියගේ රුව මැකී යන්නට ඇත. සිරිපා වන්දනා කොට පහළට කරුණා කරන අතරදී පවා මේ තරුණයා සිතන්නේ ඒ සිත් ගත් තරුණිය පිළිබඳවයි. තම සිතේ හටගත් සතුටෙහි නිමිත්ත වූ ඒ තරුණියගේ සුන්දරත්වය සිහි කරමින් විඳිමින් මේ තරුණයා පහළට කරුණා කරන බව මෙහිදී ප්‍රකාශ වී ඇත.

"අමතක වූ වචනයක් මෙන් 
දිව අග ඇති 
දනිමි එහෙත් නොදනිමි මේ 
සතුට"

දනිමි නොදනිමි. මේ නම් කුමක්ද? කවියා පවසන මේ හැගීම ආදරය විය හැකියි නේද? ලාල් හෑගොඩයන් වසන් කරනා මේ කරුණ පාඨකයාට කවි පංතිය කිය වීමට බල කරයි.

"කොයිබ සිට ආවෙ ද 
කොයි වෙසින් ආවෙ ද මේ 
සතුට"

කවියා ආදරය තුල මංමුලාව ඇති දැයි සිතේ. සතර දිග සොයන්නේ ඒ මැකී ගිය රුවයි. සිතේ ඇති වේගය හගවන අපූරුව බලන්න. "කොයිබ සිට ආවෙ ද" . ආවේ ද නොව යොදා ඇත්තේ "ආවෙ ද" යනු වෙනි. යෞවනයාගේ සිතේ ඇති කුතුහලය, වේගය ඒ වචන තුල ගැබ් කිරීමට ලාල් හෑගොඩ කවියා දක්ෂ වූ වග කිව යුතුය.

"යන්තමින් නමුත් ඇසෙනා 
ඝණ්ඨාර හඬ මළුවේ 
සිත රැගෙන ගියා ආපහු 
අමතක අඳුරු වලා 
බිඳිමින්"

සිරිපා වැද පහළට කරුණා කරන මේ යෞවනයාට අමතක වෙමින් තිබූ ඒ සතුටු සිතුවිල්ල නැවතත් සිහියට නැගෙන්නේ යන්තම් ඇසෙනා ඝණ්ඨාර හඬ සමගය. මෙහිදී කවියා අපට නොකී මොකක් දෝ දෙයක් ඝණ්ඨාරය හා සම්බන්ධ යැයි සිතෙයි. දගකාර තරුණියක් යන්තම් ඝණ්ඨාරය නාද කර දිව යන අයුරු ඔහු උඩ මළුවේ දී දකින්නට ඇති බව සිතෙයි. යම්තම් ඇසෙනා ඝණ්ඨාර හඬ මතකයට ගෙන ආවේ ඒ සිදුවීම විය යුතුය.

"ඉර සේවය බලනා 
දුම්බර සිට ආ
නඩයක් මැද හිඳ
සිනා සුණා දැරියක් 
හිරිමල් සිනා පා"

මෙතෙක් කුතුහලයෙන් පෙලූ පාඨක සිතට සතුටක් ගෙන දෙමින් කවියාගේ හිතේ උපන් සතුටට හේතුව අවසානයේ ලාල් හෑගොඩයන් පැහැදිලිව හෙලි කරයි. දුම්බර ප්‍රදේශයේ සිට පැමිණි සිරිපා නඩයක සිටි දැරියක් කවි සිතට ගෙනා සතුට පද බැදි අපූරුව කීමට අපට වචන අහිමිය. හිරිමල් සිනා පා සිනා සුන දැරිය දුටු මොහොතේ කවියාටද සිදු වූයේ එයම විය යුතුය. ලාල් හෑගොඩයන්ගේ කවි පොත් හොය හොයා කියවීමට පෙළඹවූ මේ සතුට කවි පෙළ නිදහස් කවියට කල උපරිම සාධාරණයක් ලෙස ඇගයිය යුතුය.



Key words
ලාල් හෑගොඩ 
සතුට පද්‍ය රසාස්වාදය  
ලේඛන කවියන්
කවි විවරණ
කවි සාහිත්‍යය රසාස්වාද pdf
කවි පොත් විවරණ 
කවියාගේ නිර්මාණ 
Lal hegoda kawiyage nirmana




Comments