Skip to main content

බුදු දහම හා ජන සමාජය රචනාව


බුදු දහම හා ජන සමාජය

මිනිසා උපතේ සිට මියයන තෙක්ම විවිධ වූ ජන සමාජයන්ට එක් වී ජීවත් වෙයි. උපත ලැබීමත් සමග ඒ බිළිදා පවුල නම් සමාජයේ සාමාජිකත්වය ලබයි. කල් යත්ම දරුවා වැඩීමත් සමග පාසල් සමාජයට ඇතුළත් වන අතර පන්සල, දහම් පාසල ආදී වූ විවිධ ජන සමාජ හා එක්ව ක්‍රියා කිරීම ජීවත් වීම සිදු වේ. 

බුදු දහමින් පෝෂණය වූ ජන සමාජයක අප ජීවත් වේ. අදේව වාදී ආගමක් නිර්මාණය කල ගෞතම බුදු රදුන් ජන සමාජයේ යහ පැවැත්ම උදෙසා බොහෝ දේශනා සහ මග පෙන්වීම් සිදු කර දී තිබීම වාසනාවකි. බොහෝ දෙනෙකු අතර පවතින වැරදි මතයක් වනුයේ බුදු සමය හුදෙක් ලෝකෝත්තර නිවන් සැපත වෙනුවෙන් වූ, ලෞකික ජීවිතය ප්‍රතික්ෂේප කල ආගමක් බවයි. සත්‍ය නම් ලෝකෝත්තර සැපත වෙනුවෙන් පිය නගන ගමනේ මූලික අඩිතාලම සාර්ථක ලෞකික ජීවිතයක් මතින් ඇති කර ගැනීමට බුදු සමය තුල නිවැරදි මග පෙන්වීම් ඇති බවයි.

බුදු දහමට අනුව සංඝ සමාජය හා ගිහි සමාජය යනුවෙන් සමාජය ප්‍රධාන කොටස් දෙකකින් නිරූපණය කරන අතර භික්ෂු, භික්ෂුනී, උපාසක, උපාසිකා යනුවෙන්ද බෞද්ධ ජන සමාජය නිරූපණය කරයි. උපාසක, උපාසිකාවන් ලෞකික ජීවිතයක් ගත කරන අතර ඔවුන්ගේ ලෞකික ජීවිතය සැපවත් හා සාර්ථක කරනු වස් බෞද්ධ ඉගැන්වීම් බොහෝසෙයින් ඉවහල් වෙයි. 

සමාජය යනු පුද්ගලයන් අතර අන්තර් ක්‍රියා හේතුවෙන් නිර්මාණය වූවකි. එකිනෙකාට සහයෝගය දක්වමින් සාමූහිකව ක්‍රියා කිරීම සමාජයක් තුළ සිදු වෙයි. ඒ සමාජය තුළම ඇතමුන් එකිනෙකාට උදව් කරනවා වෙනුවට, එකිනෙකාට ඊර්ෂ්‍යා කරමින් විවිධ බාධා කරදර කරනු ලබයි. එසේ කිරීමට එම පුද්ගලයන්හට විවිධ වූ හේතු කාරණා තිබිය හැකි වන අතර බුදුදහම ඇසුරු කිරීමෙන් එවැනි පුද්ගලයන් තුළ එවැනි වූ ආකල්ප ඇති වීම අවම වෙයි. 

බුදු සමය අදේවවාදී වූවද ලාංකේය ගැමි සමාජය දෙස බැලීමේ දී දේව ඇදහීම් ද දක්‌නට ලැබෙයි. ජීවිතයේ පැන නගින ප්‍රශ්න, ගැටලු හා දුර්භාග්‍ය දුරු කර ගැනීමට විවිධ දෙවිවරුන්ට පුද පූජා පැවැත්වීම සිදු කරයි. බෞද්ධ ජන සමාජය තුළ බුදුන් වහන්සේට මූලිකත්වය හිමි වන අතර නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි ආදී දෙවිවරුන් ඇදහීම සිදු කරයි. මෙකී දෙවිවරුන් බුදු දහම සුරකින සේම තමාටද පිහිට වන බව බෞද්ධයින්ගේ විශ්වාසයයි. 

සිංහල ජන ජීවිතය දෙස බලන විට ඔවුන් දෙවියන්ගේ බලපෑම, ග්‍රහයන්ගේ බලපෑම සේම යක්ෂ ප්‍රේත බලපෑම් ආදිය විශ්වාස කරමින් තමාට වන අහිතකර බලපෑම් අවම කර ගැනීම සඳහා පුද පූජා, ශාන්ති කර්ම ආදිය ද සිදු කරන බවද පැහැදිලිය. බුදු සමය තුල මේවායේ හරයක් සදහන් නොවන නමුත් බුදු දහම හා ප්‍රබල ගැටීමක් නොමැති බැවින් බෞද්ධ සමාජය තුල මෙවැනි දේ බුද්ධාගමට මුල් තැන දෙමින් සිදු කරගෙන යනු දැකිය හැකිය.

බෞද්ධ ජන සමාජය තුල දැකිය හැකි බෝධි පූජා, සෙත් පිරිත්, දානාදිය සේම වෙසක්, පොසොන්, ඇසල ආදී ප්‍රධාන පෝය දින උත්සව, කඨින පිංකම් ආදිය පිළිබඳව විශේෂයෙන් සැලකිය යුතුය. මේවා නිසාවෙන් ජනයාට ඒකරාශී වී සාමූහිකව ක්‍රියා කිරීමට අවස්ථාව සැලසීම තුළින් සමාජය ගොඩ නැගීම ද සිදුවෙයි. 

බෞද්ධ සමාජය තුළ දැකිය හැකි ප්‍රධාන අංගයක් ලෙස බෝධි පූජා හැදින්විය හැකිය. පුද්ගලයින්ට ඇති වන ලෙඩ දුක් කරදර ආදියට සැනසිල්ලක් ලබා ගැනීමේ අරමුණින් හා තරග විභාග ආදියට සෙත් පතා බෝධි පූජා පැවැත්වීම බහුලය. එසේම යම් යම් වසංගත තත්ත්ව, ගංවතුර, නියගය වැනි වූ පොදු අරමුණු වෙනුවෙන් ගම් වාසීන් නගර වාසීන් එකතු වී බෝධි පූජා පැවැත්වීම ද දැක ගත හැකිය. මෙකී බෝධි පූජා පැවැත්වීමේ දී එකට එක්ව මල් පහන් පූජා කිරීම, බෝධිය නෑවීම, බෝධි පූජා කවි ගායනා කිරීම වැනි කටයුතු තුලදී මානසික සහනය සේම හික්මීම, සමාජය තුල සංවරශීලී වීම, ඉවසීම වැනි ගුණධර්ම ප්‍රවර්ධනය වීම ද සිදු වෙයි. 

බෝධි පූජාව වැනි වූ තවත් බෞද්ධ සමාජය තුල දැකිය හැකි සුවිශේෂී අංගයක් ලෙස සෙත් පිරිත් සජ්ජායනය හා ශ්‍රවණය කිරීම දැක්විය හැකිය. අංගුලිමාල පිරිත, මෝර පිරිත, දස දිසා පිරිත, සූරිය පිරිත ආදී වූ පිරිත් සජ්ජායනය හා ශ්‍රවණය තුලින් ලෙඩ දුක් අපල උපද්‍රව දුරු වී සොර සතුරු බිය, රෝග බිය ආදියෙන් තොරව සතුටින් කල් ගෙවීමට හැකිවන බව, කරන කියන කටයුතු සාර්ථක වන බව ද විශ්වාස කරයි.

බුදු දහමින් පෝෂණය ලද සිංහල බෞද්ධ ජන සමාජය ලෝකයටම ආදර්ශවත් ගති ලක්ෂණ ගණනාවකින් සමන්විත සේම, මානවයාගේ අභිවෘද්ධිය සඳහා බෙහෙවින් හේතු සාධක වූ ද, ලෝකෝත්තර සැපත වෙත මාර්ගය විවර කර ගැනීමට පහසුව සලසන්නා වූ ජන සමාජයක් ලෙස ඇගයිය හැකි අතර එවන් ජන සමාජයක ජීවත් වීමට තරම් පෙර පින් සතු අපිද අපගේ ජන සමාජයේ යහපත් පැවැත්ම පිණිසම ක්‍රියා කිරීමට වග බලා ගනිමින්, අනාගත මානවයාටද සැනසිය හැකි ජන සමාජයක් අනාගතයට රැගෙන යමු.


Key words 
බුදු දහම හා ජන සමාජය රචනා
බුදු දහම සහ ජන ජීවිතය රචනා pdf
බෞද්ධ ජන ජීවිතය රචනාව pdf download 
බුදු දහමින් පෝෂණය වූ ජන ජීවිතය රචනා
Budu dahama saha jana jiwithaya rachana

Comments