ශ්‍රී ලාංකිකයන් ලෙස සම්පත් ඵලදායිව යොදා ගනිමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගනිමු.
'ඉන්දියන් සාගරයේ මුතු ඇටය' ලෙසින් නම් දරා ඇති මනරම් ශ්‍රී ලංකා දිවයින තුළ පවත්නා බොහොමයක් සම්පත් වෙනත් රටවල් තුළ දක්නට නොමැති තරම් දුර්ලභය. ඒ විතරක්ද මේ ශ්‍රී ලංකා දේශය දෙව්ලොවක් බඳු වූ දේශගුණය, ස්වභාවික වෘක්ෂලතාවන්, සිත් ඇදගන්නා සුළු භූ විෂමතාවය, මනා ජලවහන පද්ධතිය හා විශේෂයෙන්ම රට වටකර ඇති කිරි සයුර වැනි සියල්ලන්ගෙන්ම සපිරි පින්බිමකි.
ගිනිකඳු පිපිරීම්, හිම වැටීම්, භූ කම්පා වැනි අහිතකර තත්ත්වයන් කිසිවක් නොමැති ලංකාව වැනි සුන්දර රටක ඉපදීමට තරම් අපද සසර පුරා කවදා හෝ මහා පුන්‍ය කර්මයක් කලා විය යුතුය. ලොව වෙනත් රටවල දැකිය නොහැකි මුතු මැණික්, ඛණිජ සම්පත් පමණක් නොව ගස් වැල්, සතා සිවුපාවන් පවා අප රටට එකතු කරන්නේ අමිල වූ වටිනාකමකි. උපායශීලී වෙමින් සංචාරක ව්‍යාපාර ආදිය දියුණු කිරීම තුළින් ඒ වටිනාකම් ඕනෑම මොහොතක මිල මුදල් කර ගත හැකි වන නමුත් තවමත් එයට නිසි වැඩ පිළිවෙලක් නොමැති වීම රටේ ජනතාවගේ අභාග්‍ය වේ.
"පෙරදිග ධාන්‍යාගාරය" ලෙසින් අතීතයේ පටන් ඉතාමත් උසස් විරුදාවලියකට පාත්‍ර වීමට තරම් සරුසාර පසක් ලංකාද්වීපය සතු විය. එදා මුතුන් මිත්තන් භූමියෙන් නිසි ඵල ප්‍රයෝජන ලබා ගනිමින් විදේශයන්ට පවා ආහාර ද්‍රව්‍ය අපනයනය කිරීම නිසා එවන් විරුදාවලියක් ලැබීමට පවා හැකි වූවද නූතන ඩිජිටල් පරපුර පෝෂණය වීම සඳහා ආහාර පාන පවා විදේශයන්ගෙන් ආනයනය කිරීම රටේ ජනතාවගේ අභාග්‍යයකි.
රට වටේටම ඇත්තේ සයුරයි. එසේ වෙද්දීත් අප රට ටින් මාළු පවා පිට රටින් ආනයනය කරයි. අප රටට පමණක් නොව ලෝකයම පවා පෝෂණය කිරීමට හැකි මත්ස්‍ය සම්පතක් අප සයුර තුල පවතී. මත්ස්‍ය අභිජනන සිදු කරමින් නිසි වැඩ පිළිවෙලක් යටතේ සම්පත් ක්ෂය නොවන පරිදි, සම්පත් ඵලදායීව භාවිතයට ගත යුතුය.
ඉස්සන්, පොකිරිස්සන්, දැල්ලන් වැනි මුහුදු සත්ත්වයන් පමණක් නොව විවිධ මුහුදු ශාක පවා යොදා ගනිමින් ආහාර නිෂ්පාදනය සඳහා අවධානය යොමු කල යුතුය. මේවා පිළිබඳව විශ්ව විද්‍යාල උපාධි පාඨමාලා පවා තිබුණද ඒවායින් උගත් දැනුම රැගෙන ඔවුන් විදේශ රටවල රැකියා සඳහා යොමුවනවා මිස රට තුළ නිෂ්පාදනයක් සිදුවනු දැකිය නොහැකි වීම අභාග්‍යයකි.
තවද ලංකාවේ බාහිර කලාපය තුළ පවත්නා ඛනිජ සම්පත යනු අනිවාර්ය වශයෙන් සාකච්ඡා කළ යුතු කරුණකි. මන්ද වර්තමානය වන විට ඛනිජ ද්‍රව්‍යවල මිල ඉතා විශාල වශයෙන් ඉහළ යන බව අන්තර්ජාලය පුවත්පත් වැනි මාධ්‍ය තුළින් අපට දැන ගැනීමට පුළුවන. එහිදී මෙවැනි කාලසීමාවක් තුළ මෙම මැණික්, මිනිරන් හා වෙනත් ඛනිජ වර්ග තුළින් අපට විදේශ විනිමය බොහෝ වශයෙන් ලබා ගත හැකි බව නොරහසක් ලෙස දක්වා සිටිමු.
පැමිණෙන විදේශිකයන් සූරා කමින්, රටේ ආරක්ෂාව පිළිබඳ අවධානය බොද කරමින්, රටේ ප්‍රතිරූපය විකෘති කරමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්නේ සිහිනෙන්ද?
නිසි ප්‍රතිපත්තියක් හෝ දැක්මක් නැති පත්වන දේශපාලන පක්ෂයේ අරමුණු වෙත පමණක් දිව යන සුපුරුදු දේශපාලනය තුළ ඵලදායී සම්පත් පරිහරණයක් අපේක්ෂා කල නොහැකිය. කොරෝනා ආදී වූ ආර්ථික දුෂ්කරතා පැමිණි බව සත්‍ය වේ. නමුදු පවතින දුෂ්කරතා නිදහසට කාරනා කර නොගෙන නූතන ලෝකය හා කරට කර ගැටෙමින් දියුණුවේ මං පෙත් විවර කර ගැනීමට පමා වී හෝ කටයුතු කල යුතුය.
මෙතරම් සම්පත්වලින් අනූන රටක් තිබියදී මෙතරම් පහත් මට්ටමක ආර්ථික තත්ත්වයක් රැගෙන යාම ශ්‍රී ලාංකිකයන් වශයෙන් නුසුදුසු කරුණකි. එනිසා මේ සියලු සම්පත් පාහේ ප්‍රයෝජනයට ගනිමින් ලාංකේය අනන්‍යතාවය තහවුරු කොට ශක්තිමත් ස්ථාවර ආර්ථික තත්ත්වයක් ගොඩනගා ගැනීමට රජය සේම අප හැම ක්‍රියාත්මක විය යුතුය.
Key words
2020 OL Rachana
2020 සාමාන්‍ය පෙළ රචනා
අනුමාන රචනාව
Comments