Skip to main content

ළදරු හැගුම් රසාස්වාදය

ළදරු හැඟුම් පද්‍ය පන්තිය තුළින් ස්වභාව ධර්මයට ලැදි කීකරු ළමා පරපුරක් බිහිකිරීමට මානවසිංහයන් දරන උත්සාහය අගයමින්, ළදරු හැඟුම් පද්‍ය පන්තිය රසාස්වාදය කරමු.

මානවසිංහයන් යනු කවි ගී බැඳුමෙන් විශිෂ්ටයෙකි. 1913 ජූනි 19 වන දින උපත ලද මානවසිංහයන්ගේ උප්පැන්න සහතිකයේ ලියවුණු නාමය නම් චන්ද්‍රරත්න දියෙස් සූරිය ආරච්චි මොහොට්ටි වේ. දෙවරක් වූ පැවිද්දෙන් හා උපැවිද්දෙන් හා කවියෙක් වශයෙන් ඔහු ගත් තවත් නම් රැසකි. රොමෑන්ටික් කවියෙකු වූ චන්ද්‍රරත්නයන් විශිෂ්ට ගණයේ නිර්මාණකරුවෙකි. 

අක්කා සහ මල්ලී අතර වන සංවාදයක් ඇසුරු කොට ගනිමින් බොහෝ දිනෙක රාත්‍රී අහසෙහි සිදුවන සඳ තරු පෑයීම ආදී වෙනස්කම්හි චමත්කාරය ආගමික හැඟීම් සමඟ මිශ්‍ර කොට බුදුරදුන් පිළිබඳ ආදරයක් සහ ගෞරවයක් ඇති කිරීම මෙන්ම ළමුන්ගේ පරිකල්පනය තීව්‍ර කරීම "ළදරු හැඟුම්" පද්‍ය පංතියෙහි වස්තු විෂය බවට පත්විය. එහි අරමුණ වූයේ ස්වභාව ධර්මයට ලැදි කීකරු දරුවන් පිරිසක් බිහි කිරීමයි.

මිනිසාගේම කොටසක් ලෙස පරිසරය දැක්විය හැකිය. ඒ මනුෂ්‍යයාගේ ජීවය රඳා පවතින්නේ පරිසරය නිසාවෙනි. පරිසරයේ විනාශය අපගේ ද විනාශය බව සිතා පරිසරයට ආදරය දැක්වීම මෙන්ම පරිසරය රැක ගැනීම ද කළ යුතුය. ළමා අවධියේම එම ආකල්ප සිත් තුළ ඇති කිරීමෙන් ස්වභාව ධර්මයට ලැදි දරුවන් පිරිසක් බිහි කළ හැකි වේ. එම උදාර මෙහෙවරේදී මානවසින්හයන්ගේ "ළදරු හැඟුම්" පද්‍ය පංතිය ඉතා සාර්ථක නිර්මාණයකි.

" සුදට සුදේ මහ ගොඩක් වලාකුළු තරු යට අහසේ දිව යන්නේ 

 කවුරුද අක්කේ මේවා හදන්නේ කොහි තිබිලද මේ හැටි එන්නේ"        

අජීවී වස්තු සජීවී කර දැක්වීම කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ කවීන්ගේ සුවිශේෂත්වයකි. "වලාකුළු තරු යට අහසේ දිව යන්නේ" මෙසේ අජීවී වස්තුවක් වන වලාකුළු අහසෙහි දිව යන බව පවසන්නේ ඒ බව සනාථ කරමිනි. කුඩා දරුවකුගේ සිතක ස්වභාවය දක්වන කතුවරයා මල්ලිගේ චරිතය මගින් ළමා මනසෙහි ඇතිවන ගැටලුවක් තම අක්කාට පවසන ආකාරය ඉතා ආදරණීය අයුරින් පද දෙකකින් නිර්මාණය කර තිබේ. 

"මල්ලි දන්නවද පුංචි පුංචි දෙව් කුමරියන් පොඩි මල් ගොතලා 

යනවා නොවැ මේ බුදු හාමුදුරුවෝ දැකලා එන්න රෑ බණ අහලා"        

කවියාගේ සෞන්දර්යවාදී, භාව පූර්ණ භාෂා ශෛලිය පද්‍ය නිර්මාණයට අලංකාරය එක් කරයි. "දෙව් කුමරියන් පොඩි මල් ගොතලා" උක්ත කවියෙහි මෙම පාඨය තුළින් ඒ බව සනාථ වේ. 

මල්ලිගේ සිතෙහි ඇතිවන ළමා සිහිනය බොඳ නොකර ළමා මනසට ගැළපෙන පිළිතුරක් ලබා දෙන අක්කා පවසන්නේ, පුංචි පුංචි දෙව් කුමරියන් පොඩි මල් ගොතා ඒවා රැගෙන බුදුන්ගෙන් බණ ඇසීමට යන විට වළාකුළු ගොඩක් තරු යට පාවෙනවා මෙන් පෙනෙන බවයි. " බුදු හාමුදුරුවෝ දැකලා එන්න රෑ බණ අහලා" යන්න කවිය තුළට අන්තර්ගත කොට ඇත්තේ දරුවන්ගේ සිත් තුළ ආගමික ආකල්ප ඇති කිරීම අරමුණු කොට ගෙනය. තවදුරටත් මෙහි "පුංචි පුංචි" වැනි අනුප්‍රාසාත්මක වචන යොදාගෙන පාඨකයාට ශබ්ද රසය ලබාදීමට ද කතුවරයා අමතක නොකර ඇත.

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.




" වළාකුලේ අර අයිනේ ලස්සන සිනා මුහුණු පෙනෙනව ළපටි 

අක්කෙ බලන්නකෝ ඈත දැකලා ඇති බුදු හාමුදුරුවෝ වඩින හැටි"            

මල්ලි අක්කාට පවසන්නේ වලාකුළු අයිනේ ලස්සන සිනා මුහුණු පෙනෙන බවයි. මල්ලි පෙර ඇසී ප්‍රශ්නයට අක්කා එවැනි පිළිතුරක් දීම නිසා ඔහු අහස දෙස බලා තවත් දර්ශන මනසෙහි සිත්තම් කර ගනී. 

කිසියම් දෙයක් දකින දරුවෙකු ඒ දෙස බලා බොහෝ දේ සිතින් මවා ගනියි. එම ළමා සිතුවිලි මනාව අධ්‍යයනය කළ මානවසිංහයන් පාඨකයා මඳ වේලාවකට ළමා ලෝකයට ගෙන ගියේය. මෙහි බුදු හාමුදුරුවෝ වැනි කටවහරෙහි වචන ද දැකගත හැකිය. මාත්‍රා පිළිබඳ බලන විට බොහෝ විට කවි වල මාත්‍රා 30ක් හෝ ඊට ආසන්න සංඛ්‍යාවක් දැක ගත හැකිය. එවැනි දිගු මාත්‍රා සහිත පද බැදීම මානවසින්හයන්ගේ හැකියාව විදාපායි.

" බුදු හාමුදුරුවෝ සොයා ගන්න බෑ වන දෙව් කුමරියෝ දුක් වෙනවා

 සමනල කන්දේ සිරිපා සිඹ සිඹ තාමත් එහෙ මෙහෙ ඇවිදිනවා."           

මල්ලිගේ එක් පැනයකට පිළිතුරු ලබාදී නොයන අක්කා දිගින් දිගටම මල්ලිගේ මනසට ගැළපෙන පිළිතුරු ලබාදෙයි. අක්කා පවසන්නේ බුදුහාමුදුරුවන්ගෙන් බණ ඇසීමට ආ දෙව් කුමරියන්ට බුදුහාමුදුරුවන් සොයා ගැනීමට නොහැකිව දුක් වන බවත්, ඔවුන් සමනල කන්දේ සිරිපා සිඹිමින් එහෙ මෙහෙ ඇවිදින බවත්ය. මෙහිදී කතුවරයා අක්කාගේ චරිතය මඟින් බුදුරදුන් කෙරෙහි ඇති භක්තිය වැඩි කිරීමට උත්සාහ දරයි. මින් ළමුන්ගේ පරිකල්පනය තීව්‍ර කර ඇත. මෙහි වස්තු විෂය ද එයම විය. අරමුණ ඉටුකර ගන්නා අතර ශබ්ද රසය ලබාදීමට "සිඹ සිඹ" ලෙස අනුප්‍රාසාත්මක වචන භාවිතා කර ඇත.

" ඉතින් අම්මලා නැතිව මොකද මේ තනියම යන්නේ උඩ අහසේ

 මටත් යන්න හරි ආසයි අක්කේ වළාකුලක් මත නැග රහසේ"          

ළමා කාලය ගෙවෙන්නේ දෙමව්පිය රැකවරණය සහිතව ය. බොහෝ දරුවන් ඉන් මිදී නිදහසේ සිටීමට කැමැත්ත දක්වයි. මෙහි මල්ලී ද එසේ ය. ඔහු පවසන්නේ පුංචි පුංචි දෙව් කුමරියන් අහසේ තනිව යන්නේ නම් තමා ද තනිව අහසේ යාමට ආස බවය. එසේ මල්ලිගේ සිතෙහි ඇතිවන්නා වූ සිතුවිල්ල තම අක්කා සමඟ බෙදා ගන්නා ආකාරය ඉතා අලංකාර ලෙස නිර්මාණය කර ඇති අතර මෙහි "වළාකුලක් මත නැග රහසේ" යන පාඨය තුළින් කවියාගේ සෞන්දර්යවාදී භාවපූර්ණ භාෂා ශෛලිය පද්‍ය නිර්මාණයට අලංකාරය එක් කරයි. 

"මල්ලි දන්නෙ නෑ කුමරියන්ගේ අම්මලාගෙ ආදරෙ පිරිලා 

 හුළං රැලක් වී යනවා යනවා පරිස්සමට වටටම එතිලා "         

දරුවෙකුගේ අදහස්, ආකල්ප, සිතුවිලි ක්‍රියාකරන ආකාරය අනුව එම දරුවාගේ පරිසර වටපිටාව කෙබඳු ද යන්න තේරුම් ගත හැකිය. දෙමව්පියන්ට රහසේ අහසේ ඇවිදීමට සිතූ මල්ලිගේ එම නොමග ගිය සිතුවිල්ලට අක්කා ලබා දෙන්නේ ඉතා ආදර්ශමත් පිළිතුරකි. ඇය පවසන්නේ ආදරය පිරී දෙව් කුමරියන්ගේ අම්මලා හුළං රැලක් වී ඔවුන්ගේ ආරක්ෂාවට වටේ එතී යන බවයි. 

මෙහිදී මානවසිංහයන් ලබාදෙන උපදේශනය නම් ළමා කාලය ගෙවිය යුත්තේ දෙමාපිය රැකවරණය හා අධීක්ෂණය යටතේ බවයි. මෙහි "හුළං රැලක් වී යනවා යනවා" යන පාඨයෙන් කවියාගේ සෞන්දර්යවාදී භාව පූර්ණ භාෂා ශෛලිය පද්‍ය නිර්මාණයට අලංකාරය එක් කරන අතර "යනවා යනවා" ආදී වචන යොදා ගෙන පාඨකයාට ශබ්ද රසය ද ලබා දෙයි.

"වෙසක් පෝය දා හුළඟක් වෙනවට අම්මාට කියනවා සඳ පානේ 

 වළාකුලක් උඩ මාත් නැගිලා යනවා හැම තරුවක් ගානේ "          

දෙබසක් ලෙස පද්‍ය පන්තිය ගලා යන අතරතුර සමාජයේ අක්කලාට මල්ලිලාට මෙන්ම සමාජයේ දෙමව්පියන්ට උපදෙස් ලබා දෙයි. මල්ලි අනාගතයේදී සිදු කරන කටයුතු රඳා පවතින්නේ අක්කා පවසන වදන් මතය. හුදෙකලාව ගමන් කිරීමට සිතන මල්ලිට එය නොගැලපෙන බව ආදරණීය ලෙස පහදා දෙයි. මෙහි මල්ලීගේ බලාපොරොත්තුව අම්මාට හුළඟක් වීමට කියා වලාකුළක නැග අහසෙහි හැම තරුවක් ගානේ යාමයි. මානවසිංහයන් ඒ බව ඉතා අලංකාර ලෙස දක්වා තිබේ.

" එතකොට මල්ලිට වෙහෙරක් ගානෙම හඳ එළියේ රන් කොත දැකලා

 හඳට යටින් රිංගාගෙන යා හැක ඔලුව නමාගෙන පහත් වෙලා"          

ප්‍රශ්නාවලියක් ලෙස හැඟුම් උද්දීපනය කිරීම මෙම පද්‍ය පංතියෙහි සුවිශේෂී ලක්ෂණයකි. මෙහි එක පෙළට ගලා ආ පද්‍ය පංතිය අවසන් වන්නේ උක්ත කවියෙනි. මනඃකල්පිත ලෝකයෙහි ජීවත් වන මල්ලිට බාධා නොකරන අක්කා මල්ලීගේ සිතෙහි ආදරණීය හැඟීම් උද්දීපනය කරවයි. අක්කා මල්ලිගේ බලාපොරොත්තුව කඩ නොකොට ඔහුට දිරිය ලබා දෙයි. මල්ලිට වෙහෙරක් ගානේ ඇති රන් කොත් දෙස බලා යාම විචිත්‍රවත් දර්ශනයක් බවත් නමුදු මල්ලි ගමන් කළ යුත්තේ හඳට යටින් ඔලුව නමාගෙන පහත් වෙලා යන බවත් ඉහත පාඨයෙන් පාඨකයා තුළ ආගමික හැඟුම් උද්ධීපනය කරයි.     

අප්‍රාණවාචී දේ ප්‍රාණවාචී ලෙස දැක්වීමේ ශූරීන් වූ කොළඹ යුගයේ දෙවන කවි පරපුර නියෝජනය කරන කවියෙකු වූ මානවසිංහයන්ගේ "ළදරු හැඟුම්" පද්‍ය පංතිය තුළ බොහෝ අප්‍රාණවාචී දෑ ප්‍රාණවත් ලෙස නිර්මාණය කර ඇත්තේ ළමා මනසට ද ගැළපෙන ලෙසය. 

"තරු යට අහසේ දිව යන්නේ"

උක්ත නිදසුනෙන් ඒ බව පැහැදිලි වේ.             

එකම වචනය, එකම අකුර නැවත නැවත යෙදීම අනුප්‍රාසයයි. අනුප්‍රාසය මගින් ඕනෑම කලා නිර්මාණයක ශබ්ද රසය වැඩිවන අතර පද්‍ය නිර්මාණයක සාර්ථකත්වයට එය ප්‍රබල සාධකයක් වෙයි. මානවසිංහයන්ගේ අපට නියමිත පද්‍ය පංතියක් වන "ළදරු හැඟුම්" පද්‍ය නිර්මාණයෙහි 

"සුදට සුදේ

 පුංචි පුංචි 

 ඉඹ ඉඹ 

එහෙ මෙහෙ" වැනි අනුප්‍රාසාත්මක වචන බොහෝ යොදා ගෙන ඇති අතර එමගින් පාඨකයා තුළ ශබ්ද රසය ඇති කරවයි.       

තවද දෘෂ්ටිගෝචර සංකල්ප රූප ද මතු කරයි. 

"වළාකුළේ අර අයිනේ ලස්සන සිනා මුහුණු පෙනෙනව ළපටි

අක්කෙ බලන්නකෝ ඈත දැකල ඇති බුදු හාමුදුරුවො වඩින හැටි"

උක්ත නිදසුනෙන් එය සනාථ වන අතර මෙහි සරල සුරතල් බස් වහරක් ද දැක ගත හැකිය. ඒ අනුව ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් උදාර වූ සිතුවිල්ලක් පාදක කොටගෙන තම අරමුණ ඉටුකර ගැනීමට එතුමා විසින් රචිත "ළදරු හැඟුම්" පද්‍යයෙහි ග්‍රාමීය කථන ව්‍යවහාරය, භාව පූර්ණ භාෂා ශෛලිය, ශබ්දාලංකාර, අනුප්‍රාසය ආදී අලංකාර භාෂා උපක්‍රම යොදාගෙන ඉතා සාර්ථක අයුරින් පද්‍ය පංතිය නිර්මාණය කර ඇති අතර පාඨකයාට ලබාදීමට උත්සාහ කළ පණිවිඩය ලබා දීමෙහිලා බෙහෙවින් සමත් වී ඇත.

H.M ශෂිකා ලක්මාලි
උසස් පෙළ කලා අංශය
මප/ව/මඩුල්ල ද්විතීයික පාසල



Key words 

ළදරු හැඟුම් පද්‍ය පන්තිය රසාස්වාදය 
ළදරු හැඟුම් රසාස්වාදය 
ළදරු හැඟුම් පද්‍ය රසාස්වාදය කිරීම 
ළදරු හැඟුම් රසාස්වාදය pdf
ලදරු හැගුම් රසාස්වාදය 
ළදරු හැඟුම් චන්ද්‍රරත්න මානවසිංහ 
ළදරු හැගුම් රසාස්වාදය download 

Comments