Skip to main content

සිංහල විචාර 67 - බැද්දේගම නවකතා විචාරය 04 | උසස් පෙළ

බැද්දේගම නවකතාව පිළිබඳ සාහිත්‍ය විචාරය

"අධිරාජ්‍යවාදී පාලන සමයේ ශ්‍රී ලංකාවේ වනගත ප්‍රදේශ ආශ්‍රිතව දුෂ්කර ජීවිතයක් ගත කළ මිනිසුන්ගේ ජීවිතයෙහි යථා ස්වභාවය බැද්දේගම තුළින් මනාව පිළිබිඹු වේ. " එහි සත්‍ය අසත්‍ය භාවය විමර්ශනය කරන්න.


" The Village in the Jungle " යනු, මෙරට සිංහල ජන ජීවිතය ඇසුරු කොට ගෙන ලියන ලද ඉංග්‍රීසි නවකතා අතුරින් ශ්‍රේෂ්ඨතම කෘතියකි. එම කෘතිය ලියන ලද්දේ මෙරට සේවය කළ ඉංග්‍රීසි සිවිල් නිලධාරියෙකු වූ "ලෙනාඩ් වුල්ෆ්" නම් රචකයා විසිනි. මෙම කෘතිය සිංහලයට පරිවර්තනය කරන ලද්දේ ඒ. පී. ගුණරත්න මහතා විසිනි. වර්තමානය වන විට ද සිංහලයන් අතර ජනප්‍රිය වූ සාහිත්‍ය කෘතියක් ලෙස මෙය පෙන්වා දිය හැකිය. එම කෘතිය තුළ සිංහල ජන ජීවිතය මනාව නිරූපණය කරන අතර අධිරාජ්‍යවාදීන් විසින් මෙරට පාලනය කළ සමයෙහි ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ආශ්‍රිතව දුෂ්කර ජීවිතයක් ගත කළ මිනිසුන්ගේ ජීවිතවල යථා ස්වභාවය දකින රචකයා තමා ලද අත්දැකීම් හරහා අපූර්ව ලෙස කෘතිය තුළ සමාජයට එය පෙන්වා දෙන ආකාරය නිදසුන් ඇසුරෙන් විමසා බලමු. 

බැද්දේගම අවට පිහිටියේ විශාල ගන වනාන්තරයකි. එම වනයට මැදි වූ මෙම ගම්මානයෙහි තැනින් තැන පිහිටි ගෙවල් දහයක් පමණ විය. එම කැලෑව එළි පෙහෙළි කොට ගමේ ජනතාව හේන් ගොවිතැන සිදුකළ අතර ඔවුන්ගේ ප්‍රධාන යැපීම් ක්‍රමය වූයේ ද මෙම වගාවයි. එහෙත් ගමේ ජීවත් වූ ඔවුන්ගෙන් රැකියාව කුමක්ද යන්න ඇසූ විට ඔවුන් හැම දෙනාගෙන් ලැබුණු පිළිතුර නම් කෘෂිකර්මාන්තය යන්නයි. ප්‍රධාන ජීවන උපාය ක්‍රම දෙකක් වූ අතර ඒවා නම් පෙර පැවසූ හේන් වගාව සහ කුඹුරු ගොවිතැනයි. ගමේ පිහිටා තිබූ වැවට පහළින් වැවක් තිබූ අතර එම වැවට පහළින් වේල්යායක් විය. එහෙත් ඔවුන්ට එම වෙල්යායෙහි කෘෂිකර්මාන්තයෙහි නියැළීමෙහි හැකියාවක් නොතිබිණ. එයට ප්‍රධාන ලෙස බලපෑවේ වර්ෂාව නොමැති වීමයි. මෙම ප්‍රදේශයට වර්ෂාව ලැබෙනුයේ කෙටි කාලයකි. එහෙත් නියං කාලය බොහෝ විය. එසේ කෘෂිකර්මාන්තයේ නියැලීමට තිබූ ගැටලුව නිසා බැද්දේගම සියල්ලන්ට හේන් ගොවිතැන කරන්නට විය. මොවුන් තුළ කෘෂිකාර්මික දැනුම පැවතුණි. එම ප්‍රදේශයට පැවති මෙම වර්ෂාව නිසි පරිදි නොලැබීම තුළ කෘෂිකර්මාන්තය පමණක් නොව හේන් වගාව ද සාර්ථකව කරගත නොහැකි වීම තුළ බැද්දේගම වාසීන්ගේ ජීවිතය දුෂ්කර විය.


ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය. 


"එහෙත් ඉතාම හොඳින් හේන පැසුණු අවුරුද්දේ දී පවා ගම්මුන්ගේ ආයෝජනයට ප්‍රමාණවත් ධාන්‍ය හේන්වලින් නොලැබේ

ගමේ ජීවත් වූ මිනිසුන් බොහෝ අපහසුතාවයෙන් හේන් වගාව සිදුකළ ද එම හේන් වගාවෙන් ලබාගන්නා ධාන්‍ය කිසිදු ආකාරයකින් ඔවුන්ට ප්‍රමාණවත් නොවිය. මෙම ආහාර හිඟකම තුළ බැද්දේගම වැසියන්ට බොහෝ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදු විය. නිසි ආහාර නොලැබීම නිසා ගමේ ජීවත් වූ ජනතාවට කුසගින්නේ සිටීමට සිදුවිය. එය වඩා ඛේදනීය තත්ත්වයක් වූයේ ය. 

මෙම හේන් වගාව සිදුකිරීම තුළ ඇති වූ තවත් ගැටළුවක් නම් ශරීරයට අවශ්‍ය පරිදි පෝෂණයක් නොලැබීමයි. බැද්දේගම ගමෙහි විසූවන් හේන් ගොවිතැනෙහි නියැලුනේ තමාට වෙනත් කිසිවක් සිදු කරගත නොහැකි නිසාවෙනි. හේන් වපුරා ලබාගත් කුරක්කන්, අමු මෙනේරි ආදීය මනුෂ්‍ය ශරීරයට හිතවත් ආහාරයන් නොවේ. 

"හේන් වපුරා වගා කර ගන්නා මෙම දාන්නය සාමාන්‍යයෙන් මනුෂ්‍ය ශරීරයට හිතවත් ආහාර නොවේ. ඉන් ශරීරය උණුසුම් වීමෙන් උණත් ඉතා භයානක රෝගත් බෝවේ."

මෙම ආහාර දිගින් දිගටම ආහාරයට ගැනීම නිසා උණ වැනි රෝග තත්ත්වයන් මෙන්ම වෙනත් රෝග ප්‍රබල ලෙස ව්‍යාප්ත විය. නොදියුණු පහසුකම් තුළ නිසි සෞඛ්‍ය පහසුකම් නොතිබුණ හෙයින් බැද්දේගම වැසියන්ට ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන්නට විය. 

හේන් ගොවිතැන සිදුකළ ගම්මුන්ට කන්න දෙකම වගා කළ ද අවුරුද්දෙන් භාගයක්ම කුස පුරා ආහාරයක් ලබා ගැනීමට නොහැකි විය. එම දුෂ්කර ජීවිතය තුළ ගමේ මුලාදෑනියා වූ බබේ හාමි ආරච්චිට බදු මුදල් ගෙවීමට සිදුවූ අතර එසේ නොමැති නම් තමා වගා කර ලබා ගත් ධාන්‍ය වලින් කොටසක් ගෙවීමට සිදුවිය. ධනපතියා මෙලෙස පීඩනය, සූරා කෑම තුළ ගමේ ජීවත් වූ දුප්පත් ජනතාවගේ ජීවිතය තවත් දුෂ්කර වන්නට විය. බබේ හාමිගෙන් පසුව ගමට ප්‍රනාන්දු නම් වූ මුලාදෑනි කෙනෙකුන් පැමිණි අතර ඉන්පසු ඔහු උපරිම ලාභ ලබා ගැනීම උදෙසා බබේ හාමිගේ මෙම රාජකාරිය සිදු කරන්නට විය.

"හේන් අස්වැන්නෙන් පහෙන් පංගුවකට සම්පූර්ණ හේන් අයිතිවාසිකම් ප්‍රනාන්දුට පවරාදීම ගම්මුන්ගෙන් ඉටුවිය යුතුය.

හේන් වගාවෙන් තමාට අවශ්‍ය වන ආහාර ප්‍රමාණය වත් ලබාගත නොහැකි වූ අතර ධනපති පංතියේ මෙසේ සූරා කෑම තුළ ආහාර තවත් හිඟ වූ අතර ඔවුන්ගේ ජීවිත තවත් දුෂ්කර විය.

ඉංග්‍රීසි පාලන ක්‍රමය තුළ පාලනය වන ග්‍රාමීය ජනතාවක් බැද්දේගම තුළ ජීවත් විය. ගමේ ප්‍රධානියා වූයේ ආරච්චි මහතා ය. අසීමිත බලතල ඔහුට හිමි විය. එම නිසා බොහෝ පීඩනවලට මිනිසුන්ට මුහුණ දීමට සිදු විය. ගමේ ජීවත් වූ සියලු ජනතාව ඔහුට යටත්ව ජීවත් විය යුතු අතර ඔහුට ඉහළින් කිසිවකුට කටයුතු කළ නොහැකි විය. එම නිසා මුලාදෑනියා නැතහොත් බලය හා ධනය හිමි තැනැත්තා අනෙකා පාගා දමමින් සමාජය ඔහුට යටත්ව තබා ගෙන පාලනය කරන්නට විය. බබේ හාමි ආරච්චි ගමේ පාලනය තමාගේ යටතට ගෙන තිබූ අතර ඉන්පසු ගමට පැමිණි ප්‍රනාන්දු මුදලාලි ද එලෙසම අසීමිත බලයක් භුක්ති විඳින ලදී. 

අධිරාජ්‍ය පාලන සමය තුළ මෙරට වෙනස්ම වූ ක්‍රියාදාමයන් ක්‍රියාත්මක විණි. එකල බදු ක්‍රමය පැවතීම තුළ ධනපතියා අධික ලාභයක් ලබමින් බදු මුදල් එකතු කිරීම සිදුකරයි. නිවසක ජීවත්වන අයෙකුට එක් මුදල බැගින් නිවසක ජීවත්වන සියලු දෙනාට ඇඟ බද්ද ගෙවිය යුතුව තිබිණි. එය අතීතයේ ප්‍රබලව ක්‍රියාත්මක වූ බදු වර්ගයකි. එලෙස ඇඟ බද්දට මුදල් නොගෙවූ විටෙක පාරේ වැඩ කිරීමට සිදුවිය.  බැද්දේගම  ජීවත්වූ  මිනිසුන්ට ඇඟබද්ද ලෙස බබේ හාමි ආරච්චි වෙත සිලින් තුනක් ගෙවීමට සිදු විය. 

 "හැම ගම්වැසියෙකුටම ඇඟ බද්ද වශයෙන් සිලින් තුනක් ගෙවීමට හෝ ඒ වෙනුවට පාරේ වැඩ කිරීම හෝ කළ යුතුවේ. "

බැද්දේගම ගමේ ජීවත් වූ කිසිවකුට ජීවත්වීමට හේන් ගොවිතැන හැරුණු විට වෙනත් කිසිවක් නොපැවතුණු අතර ඒ තුළ ඔවුහු බොහෝ ආර්ථික ගැටලුවලට මුහුණ දුන්නෝ ය. බොහෝ දෙනෙකුට කුසගින්නේ සිටීමට ද සිදුවිය. මෙවන් වටපිටාවක් තුළ මෙලෙස බඳු ගෙවීමට සිදුවීම ඔවුන්ට තවත් ගැටලුවක් විය. මෙලෙස බදු ගෙවීම නිසා ඔවුන් ආර්ථික වශයෙන් තවත් කඩා වැටීමට එය බලපෑ අතර වැටුප් නොලබා පාරේ වැඩ කිරීම නිසා ඔවුන්ගේ එදිනෙදා කටයුතුවලට බාධා ඇති විය. හේනේ වැඩ අතපසු වීමට මෙය හේතු වූ අතර ඒ තුළ ඔවුන්ගේ ආර්ථිකය තවත් අස්ථාවර විය. ඒ අනුව මෙලෙස අසීමිතව බදු එක් කිරීම නිසා එම ගමෙහි සිටි මිනිසුන්ගේ ජීවිත දුෂ්කරතාවයට පත් විය. 

ගමේ ප්‍රධානියා ආරච්චිල විය. ඔහු වටා අසීමිත බලයක් පැවති අතර ඔහු එම බලය අසීමිත ලෙස භුක්ති විඳින්නට විය. බැද්දේගම මුලාදෑනියා ලෙස කටයුතු කරන ලද්දේ බබේ හාමි ආරච්චිලයි. ඔහු ගමේ ජීවත් වූ අනෙක් මිනිස්සුන් තමා යටතට ගෙන සිටියහ. ආරච්චි සෑම විටම අසරණ මිනිසුන් රූකඩ බවට පත්කොට තිබිණි. නීතිය, යුක්තිය, බලය හා සල්ලි මත සෑම දේම නැවී ගියාය.

" ඔවුන්ගේ ජීවිත වාසනාවන්ත කිරීමේ හෝ ඕනෑම මොහොතක අවාසනාවන්ත කිරීමේ බලය ද ඔහු කෙරේ පැවතුණි...

එකල සිදුවූයේ ධනය මත බලය ලැබීමකි. එම ධනය නිසාවෙන් සියල්ල තමා යටතට ගැනීමේ හැකියාවද විය. බබුන් සමඟ තිබූ තරහව නිසා තමාගේ ධනය හා බලය යොදා ගනිමින් ඔහුව සිරගත කරයි. ඒ තුළ බබුන්ට තමාගේ ජීවිතයම අහිමි වී යයි. බබුන්ට පමණක් නොව ගමේ අනෙක් මිනිසුන්ට ද මෙම ගැටළුව මේ ආකාරයෙන්ම විය. එබැවින් ගමේ කිසිවෙකු ඔහුට ඉහළින් ක්‍රියා කිරීමට නොසිතීය. මෙලෙස ධනය හා බලය මත නීතිය නැවීම තුළින් නිර්දෝෂි තැනැත්තාට අසාධාරණයක් සිදුවූ අතර බලවත් හා ධනවත් පන්තිය තමාගේ අභිමතය පරිදි තම කටයුතු සිදු කරන්නට විය. 

මෙම දේශපාලන අස්ථාවරත්වය තුළ බලය හා ධනය හිමි තැනැත්තාගේ කටයුතු කිරීම තුළ බැද්දේගම ගමේ මිනිසුන්ගේ ජීවිත තවත් අස්ථාවර වූ අතර දුෂ්කර භාවයට පත්විය. 

ගමේ ප්‍රධානියා ආරච්චි වීමට ප්‍රධාන හේතුවක් වූයේ ඔහුට තමාගේ නම ලිවීමේ හැකියාව තිබීමයි. ගමේ අන් කිසිවෙකුට එම හැකියාව නොතිබුණි. බබේ හාමි ආරච්චිට පමණක් තමාගේ නම පමණක් ලිවීමට හැකි විය. එයින් පෙනී යන්නේ බැද්දේගම තුළ අධ්‍යාපනයක් නොතිබුණ බවය. වෙනත් කිසිදු දැනුමක් නැති තමන්ගේ නම පමණක් ලියා ගැනීමේ හැකියාව ඇති හේතුව නිසාම ඔහු ගමේ ආරච්චි විය. එයින් පෙනීයන්නේ බැද්දේගම ගමෙහි ඉතාම නූගත් පිරිසක් ජීවත් වූ බවයි.

" මේ මිනිසුන් ඔක්කොම කරන්නේ ඒකයි. උන් ඔක්කොම මෝඩයි. මොන හරක්ද... " " අපි දුප්පත් මිනිස්සු අයියා. ඒ වගේම මෝඩයි...

මෙලෙස නිසි අධ්‍යාපනයක් නොලැබීම තුළ ඔවුන්ට කිසි දැනුමක් නොපැවතුණි. එම නිසාම ඔවුන්ගේ ජීවිත දුෂ්කර වීමට එය ප්‍රබල හේතුවක් විය. 

ග්‍රාමීය සංකල්පය තුළ මිනිසුන්ගේ චින්තන ශක්තිය, අභිචාර හා විශ්වාස මත රඳා පැවතුණි. එසේම ගුණධර්මවලින් නිරන්තරයෙන් පෝෂණය වූ මිනිසුන් පිරිසක් ග්‍රාමීය පරිසරය තුළ දැකගත හැකි විය. ඔවුන් බොහෝ විට අතීතයේ සිට පැවත එන සිරිත් විරිත් වලට මෙන්ම ඇදහිලි විශ්වාසයන් පවත්වාගෙන යනු ලබයි. බැද්දේගම ජීවත්වූ මිනිස්සුන් අතර ද එවැනි ඇදහිලි විශ්වාස ඇත්තෝ විය. 

ගමේ මිනිසුන් ඔවුන්ට සිදුවූ සෑම කරදරයකදීම ඔවුන් සිතුවේ ඒ ඔවුන්ගේ කරුමය කියා ය. සියලු දේ තමාගේ කර්මයට අනුව සිදුවන බව ඔවුන් විශ්වාස කළාය. එක් කාලයකදී ගමෙහි කුඩා දරුවන් සියලු දෙනා මිය යයි. එහිදී ඔවුහු සිතන්නේ සිලිදු තමාගේ දරුවන් දුටු නිසාවෙන් දරුවන් මිය යන බවයි. ඒ අනුව ඔවුන් ඇස් වහ කට වහ විශ්වාස කරන්නට විය. මේ සියල්ලට බලපෑ හේතුව වූයේ ඔවුන්ට නිසි අධ්‍යාපන දැනුමක් නොමැති වීමයි. 

" උඹේ මිනිහා කිව්වා හරි. මේ මාසේ තමයි ළමයි මැරෙන්නේ. ගිය අවුරුද්දේ හරියට මේ මාසේ මගේ ළමයෙකුයි අපේ අයියගේ හාමිනේගේ ළමයයි දෙන්නෙක්ම වැළලුවා..."

දරුවන් එකිනෙකා මිය යාමට හේතු වූයේ සිලිදුදැකීමවත්, දරුවන්ට ඇස් වහ වැටීමවත්, ඔවුන්ගේ කරුමයවත් නොව ඔවුන්ගේ පිරිසිදුකමක් නොමැති වීම, නිසි ආහාර පරිභෝජනයක් නොමැති වීම වැනි හේතූන් ය. ඔවුන්ගේ නූගත්කම තුළ ඇදහිලි විශ්වාස අනුව ජීවත් විය. එම ඇදහිලි, විශ්වාස හා ග්‍රාමීය සංස්කෘතිය තුළ ඔවුන්ගේ ජීවිත තවත් දුෂ්කර විය.                               

ඉහත කරුණු සියල්ල අධ්‍යයනයෙන් පෙනී යන්නේ ආර්ථික ක්‍රමය තුළ දේශපාලන වටපිටාව, අධ්‍යාපනයේ නොදියුණුව හා ඇදහිලි විශ්වාස තුළ මෙම බැද්දේගම ගමෙහි ජීවත් වූ මිනිසුන්ගේ ජීවිත දුෂ්කර වීම කෙරෙහි බලපෑ ආකාරය මෙයින් මනාසේ නිරූපණය කොට ඇති අතර ඒ තුළ බැද්දේගම නවකතාව අපූර්ව ලෙස නිර්මාණය කොට ඇත.


H.M ශෂිකා ලක්මාලි
උසස් පෙළ කලා අංශය
මප/ව/මඩුල්ල ද්විතීයික පාසල




Key words 

බැද්දේගම විචාරය a/l pdf download
බැද්දේගම විචාරය a/l pdf
බැද්දේගම විචාරය
උසස් පෙළ බැද්දේගම විචාර pdf
බැද්දේගම නවකතාව pdf
බැද්දේගම විචාර pdf
Baddegama Al vichara pdf 
Baddegama jana jiwithaya vicharaya
Beddegama jiwitha wala yatha swabavaya

Comments