Skip to main content

සමනලයා රසාස්වාදය 04 | උසස් පෙළ

සමනලයා පද්‍ය රසාස්වාදය

ආනන්ද රාජකරුණා මහතාගේ අපූර්ව නිර්මාණයක් වන "සමනලයා" පද්‍ය පන්තිය රසාස්වාදය කරමු.

කෙනෙකු ජීවමානව සිටියදී ම වෙසෙසින් අද වන් විද්‍යුත් මාධ්‍යයන් නොතිබුණු යුගයක ඔවුන්ගේ නිර්මාණයක් ජනගීයක් බඳුව මුව මුව ගැයෙන්නේ නම් ඒ අසිරිමත් සිදුවීමකි. එලෙස යොවුන් වියේදීම කාව්‍යකරණයට බට "ආනන්ද රාජකරුණා" ශූරීන් විසින් නිර්මාණය කළ කාව්‍ය නිර්මාණ රැසකි. කොළඹ යුගයේ ප්‍රථම තරංගය නියෝජනය කරන ඔහු විසින් රචිත "සමනලයා" පද්‍ය පංතිය ළමා ලොව ග්‍රහණය කරගත් අපූරුව පද්‍ය නිර්මාණයකි. ළමා ලොවෙහි සමීපතමයකු වන සමනලයාගේ විවිධාකාර හැඟීම් දරුවකු විසින් අත්විඳින ආකාරය සමනලයා පද්‍ය පන්තියෙහි වස්තු විෂය විය. ස්වභාව සෞන්දර්යයට ලැදි සෞන්දර්යවාදී දරුවකු මෙලොවට දායාද කිරීම සමනලයා පද්‍ය පන්තියෙහි අරමුණ වී ඇත. කොළඹ යුගයෙහි ප්‍රථම පරපුර නියෝජනය කරන ආනන්ද රාජකරුණා විසින් නිර්මාණය කළ ළමා නිර්මාණ රැසකි. ඒ අතර උසස් පෙළ සිංහල විෂය නිර්දේශයෙහි අන්තර්ගත සමනලයා පද්‍ය පංතිය තුළ රචකයා කොතෙක් දුරට සාර්ථක වී ඇත්දැයි නිදසුන් ඇසුරෙන් විමසා බලමු.

ළමා ලොවෙහි ගැහැණු දරුවන් පිරිමි දරුවන් යන කිසිදු භේදයකින් තොරව කැමැත්තක් දක්වන සත්වයකු ලෙස සමනලයා හැඳින්විය හැකිය. සොබාදහමේ සැරිසරන අහිංසක ප්‍රියකරු සතෙකු වන සමනලයාගේ සම්ප්‍රාප්තිය මෙන්ම ස්වභාව දහම පිළිබඳ ළමා මනෝභාවයන් ඉස්මතු කිරීමට ස්වකීය සමනලයා පැදි පෙළ මගින් උත්සාහ ගනියි. මෙහි අලංකාරයට යොදා ගත් සාර්ථක ක්‍රමවේදයක් ලෙස සිව් පද ආකෘතිය දැක්විය හැකියි. සමනලයා පද්‍ය පන්තිය තුළ සිව් පද ආකෘතිය මඟින් පාඨකයාට උපරිම රස ලබාදීමට රචකයා සමත්ව ඇත.  

"නුඹ තල ලහිරු බබලයි උණුසුම්ය    පවන්
 බිගු කැළ උරයි වන මල් රොන් රසය නවන්
 එහි ලොල නොවී පියඹා ආ ගමන   මෙවන්
 සමනල මිතුර නුඹටයි මගේ    ආයුබෝවන්
"

සංවාදශීලී සජීවී භාෂාවක් හා උත්ප්‍රේක්ෂාලංකාර රසයෙන් යුතුව ආනන්ද රාජකරුණා කවියා සමනලයාගේ පැමිණීම අපූර්ව ලෙස මෙසේ දක්වයි. "සමනොළ මිතුර නුඹටයි මගේ ආයුබෝවන්" මෙමඟින් සමනලයා හා ළමයා යන දෙපාර්ශ්වයම අතර පවතින්නා වූ සහෘදත්වය වඩා සාර්ථක ලෙස පාඨකයාට සමීප කරවයි. සමනලයා පිළිබඳවත් සොබා දහමෙහි අපූර්ව සිදුවීමුත් ඉතා අලංකාරව නිර්මාණය කරන්නේ සෞන්දර්යාත්මක රුචියක් ඇති කිරීමේ අරමුණින් "ලාහිරු බබලයි, උණුසුම්ය පවන්, වනමල් " ආදී වචන රැසක් එක් කොට ගෙනය. මේ අයුරින් සොබා දහමේ අපූර්වතම ආස්වාදනීය සිදුවීම් සිදුවන අතර ඒවාට ලොල් නොවී සමනලයා පියාඹා යන අයුරු කෙතරම් නම් සෞන්දර්යාත්මක දර්ශන ලෙස පාඨකයා ඉදිරියෙහි මවා තිබෙන්නේ ද? 

රචකයා පද්‍ය පංතිය ආරම්භයෙහි පළමු කවියේ විශේෂයෙන්ම ළමා මානසිකත්වය තුළ දේශමාමත්වය ඇති කිරීමෙහිලා සහ මෙරට සංස්කෘතික උරුමයෙහි අනන්‍යතාවය සංජානනය කිරීමට "ආයුබෝවන්" යන වචනය යොදාගෙන තිබේ. 

"දඹරන් සුනෙන් හෙබිසිරි යල්   තලාවක
  සුභසිරි හඳුන් වා සුපුරුදු        වෙලාවක 
  සිඹසිඹ කුඩා ගස් වන මල්     බලානෙක 
  නුඹ ආගමන සී පද                ගායනාවක
"

ළමා ලොවෙහි නොමද ආදරය දිනූ සමනොළ මිතුරාගේ විසිතුරු වර්ණ මාලාව මෙන්ම ළයාන්විත ගමන් රටාව ද පාඨකයාට චිත්තරූප මැවෙන ආකාරයට ධ්වනිතාර්ථවත් භාෂාවක් ඔස්සේ මවාපායි. යහපත් ක්‍රියාවක් පවතින හිමිදිරි උදෑසන පිබිදෙන පුෂ්පරාගයක් වෙසින් පැමිණ රොන් ගෙන යන එම සමනලයාගේ ගමන සිව්පදයෙන් චිත්‍රණය කරයි. පාඨකයාට ශබ්ද රසය ලබාදීමට උත්සාහ දැරූ රචකයා "සිඹසිඹ" ආදී අනුප්‍රාසාත්මක යෙදුම් යොදාගෙන තිබේ. තවද අලංකාර වූ උපමා ද පද්‍ය පන්තිය තුළ දැක ගත හැකිය. "නුඹ ආ ගමන සී පද ගායනාවක" ඉහත පාඨයෙන් ඒ බව සනාථ වේ. "දඹරන් සුනිල් හෙබි සිරියල් තලාවක" ආදී ආටෝපවත් වදන් ද දැකගත හැකිය. එළිවැට, එළිසමය ඉතා සාර්ථකව යොදාගෙන ඇති අතර අනුප්‍රාසාත්මක රසය ඉස්මතු කිරීම සඳහා කවියා මෙම අවස්ථාවේදී ස්වභාව සෞන්දර්ය යොදාගෙන ඇත. මේ තුළන් කවියාගේ අරමුණු සමනලයා පද්‍ය පන්තිය තුළ මනාව ගැබ්ව තිබෙන බව පැහැදිලිය. 

"ගනනිල් තනග පිනි ටික ටික   මැකෙද්දී
 සුවිසල් අරුණ දද පෙර රඹ         දිලෙද්දි
 රොනවුල් සුළං රැලි දකුණෙන්   වැදෙද්දී
 සිරියල් බිමෙක පද නුඹ හිරු    නැගෙද්දී
"

"ගන නීල වර්ණ තනග මත වැටී ඇති පිණි බින්දු ටික ටික මැකී යයි. නැගෙනහිර අහස් ගැබේ අතිශයින් විශාල අරුණළු පැහැ දිදුලයි. දකුණු දෙසින් මල් රේණුවලින් ගැවසුණු සුළං හමා ඒ" ආදී ස්වභාවදහමෙහි නිතිපතා සිදුවන දකින සිදුවීම් වුවද දුර්ලභ දසුන් ලෙස දකින කවියා ඉතා අලංකාරව ළමා මානසිකත්වයට ගැලපෙන පරිදි සමනලයා පද්‍ය පන්තිය තුළ නිර්මාණය කර තිබේ. මෙහි "ටිකටික" ආදී අනුප්‍රාසාත්මක වචන මගින් පාඨකයාට ශබ්ද රසය ලබා දෙයි. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය ඇසුරින් නිර්මාණය කර ඇති අතර චිරාතන කාව්‍ය භාෂාවේ ආභාෂය ද මෙහි දක්නට ඇත. "රොනවුල් සුළං රැලි දකුණෙන් වැදෙද්දී " යන  මෙම කවියේ තෙවන පාඨයෙන් ඒ බව ගම්‍ය වේ. සුන්දර උදෑසනක චමත්කාරය පරිසරයේ සැරිසරන සමනලුන් හා ඔවුන්ගේ පියාඹන මෙන්ම මල් රොනට වැදී පැණි උරන ස්වභාවයත් සිත් ගන්නා සුළු අයුරින් චිත්ත රූප ද මැවෙන ලෙස නිර්මාණය කර ඇත. "ගන නිල් තණග පිනි ටික ටික මැකෙද්දී" යන පාඨයෙන් දෘෂ්ටිගෝචර සංකල්ප රූප මවයි. "සිරියල් බිමක පද නුඹ හිරු නැගෙද්දී" යන පාඨයෙහි සජීවී සංවාදශීලී භාෂා රටාවක් යොදාගෙන ඇත. 

"හේන්වල මුවන් වට පිට        බලද්දි
 රාන්කුරුල්ලන් තුති ගී           කියද්දී 
 පාන්දර හීන් හිරිකඩ           වැටෙද්දී 
 නේන්, හඳුනන්න බැහැ මල් පිපෙද්දී
"

සමනලයා පද්‍ය පන්තිය රචනා කරන ආනන්ද රාජකරුණා මහතා අවට පරිසරයෙහි සුන්දරත්වය කියා පෑමට හේන්වලට පැමිණි මුවන්, රාන් කුරුල්ලන් ආදි ආදී සතුන් ද යොදාගෙන ඇත. මෙහි මුල් පදයෙහි "වටපිට" යුගල පදයක් දැක ගත හැකිය. තවද "රාංකුරුල්ලන් තුති ගී කියද්දී" ශ්‍රව්‍ය ගෝචර සංකල්ප රූප මවන පාඨයක් ලෙස නිර්මාණය කර ඇත. මෙහි අවසාන පදයෙන් අර්ථ ගැන්වෙන ආකාරයට ළමයා සමනල් මිතුරාට "නොඑන්නැයි" පවසන්නේ අමනාපයකින් නොව මල් පිපී ගෙන එන සුන්දර උදෑසන සමනල මිතුරා පැමිණිය හොත් මල් සහ සමනලයා වෙන්කොට හඳුනා ගැනීමට නොහැකි වේ යැයි සිත තුළ දෙගිඩියාවක් ඇති වූ නිසාය. මෙම පද්‍යය සඳහා ජන කවියේ ආභාෂය මෙන්ම ගැමි බස ද ඇතුළත් කොට ඇති අතර එළිවැට සහ එළිසමය රැකෙන අයුරින් නිර්මාණය කර ඇත.

මෙහි පළමු පාඨ දෙක තුළ දෘෂ්ටි ගෝචර සංකල්ප රූප මවන අතර "පාන්දර හීන් හිරිකඩ වැටෙද්දී" යන තෙවැනි පාඨය ස්පර්ශ ගෝචර ය. තවද, මෙ කවියෙහි අවසන් පාඨයේ "නේන්" ලෙස ආමන්ත්‍රණය කරන්නේ හද පිරි සෙනෙහස සපත කරමිනි. එසේ ආදරය කැටි කරගත් යෙදුම් ද ඉතා අලංකාර ලෙස ආනන්ද රාජකරුණා මහතා සමනලයා පද්‍ය පන්තිය තුළ නිර්මාණය කොට තිබෙන අයුරු දැක ගත හැකිය.

"තම තුනු කැලුම් සීලෙන් නැහැවෙවී වරෙන් 
 මල් වාරමක ගතියෙන් නැලවෙවී     වරෙන්
 කවුරුත් නුඹට ආදරෙයි එදැන          වරෙන් 
 සමනල පුෂ්පරාගය මා ළඟට            වරෙන්"

"තමාගේ ශරීර ප්‍රභාව නමැති ජලයෙන් නැහැ වෙවී වරෙන්" යැයි කවියා නැවතත් සමනලයාට හඬ නගා කියයි. පද්‍ය පන්තිය පුරාවටම මෙන්ම අවසන් කවියෙහි ද සංවාදශීලී සජීවී භාෂාවක් මෙන්ම කථන භාෂාව ද යොදාගෙන ඇති ආකාරය දැකිය හැකිය. සමනලයාට මිනිස් ලොවේ සියලු දෙනා ආදරය කරන්නැයි පවසන කවියා අන්වර්ථ විරුදාවලියකින් සමනලයා ආමන්ත්‍රණය කරයි. "සමනල පුෂ්පරාගය මා ළඟට වරෙන්" යනුවෙන් රූපකාර්තවත් කාව්‍යාලංකාරයක් වන පුෂ්පරාග මාණික්‍යට සමාන කරමින් සමනලයාට ඉහල වටිනාකමක් ලබාදෙන අතර සමුද්‍රගෝෂ විරිතෙන් මෙම නිර්මාණය සිදු කරයි. මෙහි කවියා එළිසමය, එළිවැට පද්‍ය පන්තිය පුරාවටම රකිමින් සරල බස් වහරින් සහෘද පාඨකයාට හා ළමා මනසට ගැලපෙන ලෙස නිර්මාණය කර ඇති අයුරු පැසසිය යුතු වේ. 

සෞන්දර්යවාදී ස්වභාවධර්මයට ලැදි දරුවකු බිහිකිරීමෙහිලා උදාර පරමාර්ථය ඇතිව සමනලයාගේ චර්යාව විස්තර කරන කවියා ළමයින් උදෙසා පිබිදෙන ලද්දක් වුව ද සංකීර්ණ භාෂා රටාවක් අනුව නිර්මාණය කොට ඇත. කෙසේ වෙතත් අලංකාර භාෂා උපක්‍රම රැසක් යොදාගෙන නිර්මාණය කළ "සමනලයා" පද්‍ය පන්තිය ළමා මානසිකත්වයට ගැලපෙන අයුරින් ඉතා සාර්ථක ලෙස ආනන්ද රාජකරුණා කවියා පද්‍ය නිර්මාණයෙහිලා බෙහෙවින් සමත් වී ඇත.


H.M ශෂිකා ලක්මාලි
උසස් පෙළ කලා අංශය
මප/ව/මඩුල්ල ද්විතීයික පාසල









Key words 

සමනලයා රසාස්වාදය
සමනලයා ගැන කවි
සමනලයා පද්‍ය විචාර
සමනලයා පද්‍ය රසාස්වාදය pdf
සමනළයා රසාස්වාදය 
Samanalaya padya rasaswadaya download 
Samanalaya Ananda rajakaruna
සමනලයා පද්‍ය උසස් පෙළ විචාර


Comments