Skip to main content

අඳුර අපේ දුක නිවාවි රසාස්වාදය 01 | උසස් පෙළ

ගුණදාස අමරසේකර ශූරීන් විසින් නිර්මාණය කරන ලද "අඳුර අපේ දුක නිවාවි" පද්‍ය පන්තිය රසාස්වාදය කරමු.

නිදහසේ ප්‍රථම තරංගයේ කවියෙකු වූ ගුණදාස අමරසේකරයන්ගේ "අඳුර අපේ දුක නිවා වි" පද්‍ය පන්තියට අනුභූතිය වී ඇත්තේ ගොවි ජීවිතයේ කම්කටොලු හා ගැමි ගොවියා තුළින් විෂද වන මානව දයාව යි. අළුයම පිබිද කුඹුර වෙත යන ගොවියා තම සහායක ගවයා සමඟ අඳුර වැටෙන තෙක්ම වෙහෙසෙයි. ඉන් අනතුරුව ගොවියා ද වැඩ නිමකර ගවයා ද රැගෙන නිවස වෙත පිය නගයි. ඒ එන අතර මඟදී ගොවියා සහ ගවයා අතර ඇති වන සුහදශීලී සංවාදයක් සේ ගුණදාස අමරසේකරයන්ගේ මෙම "අඳුර අපේ දුක නිවා වී" පද්‍යාවලිය නිර්මිතය.

"යමන් කලුවෙ ගෙදර යන්න කන්ද උඩින් අඳුර එනව 

 උඹට වගේ මගෙ ඇඟටත් හරිම මහන්සිය දැනෙනව"

දෙදෙනා අතර මානව හිතවාදී බැඳීම අපමණ ය. ගොවියා හා ගවයා බීජ වපුරා අස්වනු නෙලා ගන්නා තෙක් අනේකවිධ අතවරයන්ට, දුශ්කරතාවයන්ට මුහුණ දෙයි. දුක් විදියි. ඒ සියල්ලේ බර උසුලන සම සමව දුක බෙදා ගන්නා ගවයා ද ප්‍රබල සාධකයකි. විශේෂයෙන්ම "උඹට වගේ මගෙ ඇඟටත්" යන යෙදුම තුල උඹ ඉදිරියට පැමිණීම තුළම ගුණදාස අමරසේකරයන් තුළ වූ මානව වාදී දෘෂ්ටිය මනාව ප්‍රකට වේ. 

තවද දෙදෙනාගේම දුක සම බව පවසයි. "කලුවෙ" යනුවෙන් හුරුබුහුටි වදනකින් ගවයා අමතන අතරම ජනවහර, ගැමි වහර, කට වහර යන අංගයන්ගේ සම මිශ්‍රණයක්ද අඳුර අපේ දුක නිවාවි පද්‍ය පන්තිය නිර්මාණය කොට ඇති භාෂාව තුළ දැකගත හැකිය.

ගොවියා හා ගවයා උරෙන් උර ගැටෙමින් සිදු කරන කාර්ය භාර්ය සහ ඒ වග තොග අඳුර අපේ දුක නිවාවි පද්‍ය රසවිදින සහෘදයා වෙත ගුණදාස අමරසේකර කවියා සමීපස්ථ කරන්නේ තාත්වික ස්වරූපයෙනි. මෙහිදී ගොවියා මෙන්ම ගවයාද අව්, වැසි, සුළං, උණුසුම හෝ සිසිලස නොතකා අතිශය දුක් පීඩා විඳිමින් ගත කරන කටුක දිවි පෙවෙත සානුකම්පිත වූ දෘෂ්ටියකින් ගුණදාස අමරසේකර කවියා විෂද කරයි. 

ඔබට වගේ මගේ ඇඟටත් හරිම මහන්සිය දැනෙනවා යන්නෙන්, දෙදෙනාට ඇතිවන පීඩාව, තෙහෙට්ටුව අඳුර අපේ දුක නිවා වි පද්‍ය පන්තිය හරහා සහෘදයාට සමීපස්ථ කර ඇත්තේ යථා රූපී ලෙසිනි.

"අඳුර තමයි අපෙ ඇඟ පත නිවන්න දෙවියෝ එව්වේ 

 හනික යමන් ගාල් වෙන්න පිදුරු ගොඩේ ගෙයි මුල්ලේ"

මෙතෙක් විදි දුක් බර දිවි පෙවෙත නිවාරණයට මොහොතකට හෝ සැනසුමක් ලැබිය හැකි ව ඇත්තේ හිරු බැස යත්ම හාත්පස පරිසරය සිසාරා පැතිරෙන අඳුර නිසයි. අඳුර මවා ඇත්තේ දෙවියන් ය. ඒ ගැමි විශ්වාසය යි. දෙවියන් අඳුර එවා ඇත්තේ ඇඟ පත නිවාලන්නට යැයි අස්වැසිල්ලක් ලබයි. එය ගොවියාට මෙන්ම ගවයාට ද සහනයක් ගෙන දෙන බව ඒකාන්තය. අඳුර දෙවියන් ගෙන දෙනු ලැබූ තෑග්ගක් බවට කවියා අපූරුවට ගම්‍යමාන කරයි. 

"හනික යමන් ගාල් වෙන්න" යන්නෙන් ගොවියාගේ මුවට නංවන ලද භාෂණය ද හරවත් ය. සාරය. පොදු ජන වහරින් උකහා ගත් කටවහරින් ගවයාට අමතන්නේ ද සංවේදී අයුරිනි. 

"උදේ හිටන් අව්කට්ටේ, උඹව තියන් මැඩෙව්වාට 
උඹේ හිතට අමාරු දැයි, කියාපන්කො දැන්වත් මට 
කරුමෙ තමයි පළිසන් දෙන්නේ අපගේ මේ විදියට 
බුදුහාමුදුරුවො කිව්වේ ඒක තමයි දුක නිවන්ට"

උදේ සිටම තමන් හා මැඬෙන ගවයාගෙන් ඔහු වේදනාව පිළිබඳ ප්‍රශ්න කරයි. නුඹේ සිතට අමාරුදැයි..? ගවයාගෙන් විමසයි. ව්‍යවහාර බසත් ජනකතා සම්ප්‍රදායට ආවේණික විරිතත් නිසා ගොවියාගේ අත්දැකීම සහෘදයාට මැනවින් සමීපස්ථ කරවීමට අඳුර අපේ දුක නිවා වි පද්‍ය පන්තිය තුළ ගුණදාස අමරසේකර කවියා අතිශයින්ම සමත් වෙයි. ගවයා ගොවියා වෙනුවෙනුත්, ගොවියා ගවයා වෙනුවෙනුත් දුක්ඛ දෝමනස්සයන් විඳින්නේ කර්ම විපාක නිසා බව සාධාරණීකරණය කරයි. බුද්ධ භාෂිතය ස්මරණය කරන ගොවියා බුදු දහමින් පෝෂිත බහුජන විශ්වාසයන් මෙන්ම ඇවතුම් පැවතුම් හා පරිපූර්ණව දෙදෙනාගේම දුක නිවාරණය කර ගන්නට උත්සුක වන්නේ නිරායාසයෙනි.

ගවයාට හොඳ තණකොළ ටිකක් ලබාදීම ගොවියාගේ අභිප්‍රායයි. ගවයා කෙරෙහි ඇති වූ සානුකම්පිත දෘෂ්ටිය අඳුර අපේ දුක නිවා වි පද්‍ය පන්තිය තුළ මූර්තිමත් කර ඇති අයුරු විශිෂ්ට ය. "අඳුරු රෙද්ද" යන රූපකාර්ථවත් යෙදුම ගුණදාස අමරසේකරයන්ගේ අපූර්ව කාව්‍යාලංකාරයකි.

"මගේ කකුලෙ කටු ඇනිලා, ඉවසන්නට බැහැ රිදේවි 
අන්දකාරෙ තෙල් ගාලා ඒ විස කටු ඇද දමාවි"

මෙහි අන්ධකාරය වූ කලී වෙදැදුරෙකු හා සමානය. කකුලෙහි විස කටු ඉවසුම් නොදෙන තරම් රිදෙන කල්හි ඒවා ඇද දමන ආකාරය මනාව ප්‍රතිනිර්මාණය කරයි. ඇඟපත වෙහෙසා දා බිදු වගුර වගුරා වැඩ කරන ගොවියා තම ගේ මුල්ලේ ද ගවයා නුදුරින් ඇති පිදුරු ගොඩේ ද සැතපෙයි. "උඹට කලුවෙ හුඟක් හොරද හැන්දෑවට නින්ද යනව" මෙය අතිශය සුහදශීලී ඇමතීමකි. 

"තුනටිය මගෙ කකියනවා බොහොම නොසෑහෙන විදියට
අඳුර හන්දි තෙල් ගාලා අතගාවිය එය හෙමිහිට"

අඳුර හන්දි තෙල් ගෑමත්, අඳුරු රෙද්ද පොරවා ගැනීමත් නිසා ගොවියාගේ ගතෙහි, සිතෙහි වේදනාව සමනය වන බව ගොවියාට පසක් වෙයි. මෙම යෙදුම් ප්‍රබල රූපකාර්ථවත් යෙදුම්ය. මෙහිදී තුනටියේ තෙල් ගාන්නේ අඳුර බව පැවසීම තුළ ගොවියා තනිකඩයකු බවත් ව්‍යංගාර්ථයෙන් කියවේ.

ගොවියාගේ උතුම් ගුණදම් සමුදාය සහෘදයාට දායාද කරන කවියා යමන් කලුවෙ, අව් කට්ටේ, දෙවියෝ තමයි යන ගැමි වහර හා කටවහර ප්‍රාණවත් ලෙස යොදා ගනී. අඳුරු රෙද්ද වැනි රූපකාර්ථයන් අර්ථාන්විත ව යොදා ගන්නා ආයුරු අගය කළ යුතුමය. කවි පන්තිය සංවාදයක් සේ ගලායාම ද සහෘද රසවින්දනයට පිටුවහලක් සපයයි. ඇතැම් විටෙක ව්‍යංගාර්ථය ද යොදා ගනී. "අඳුර හන්දි තෙල් ගාලා අතගාවිය එය හෙමිහිට" එවැනි අවස්ථාවකි. සමස්තයක් ලෙස ගත් විට පීඩිත සමාජයේ දුක, වේදනාව මෙන්ම ගැමි සමාජයේ මානව දයාව අර්ථාන්විතවත්, චිත්තාකර්ෂණීය ලෙසත් ප්‍රකට කළ විශිෂ්ට ගණයේ නිර්මාණයක් ලෙස ගුණදාස අමරසේකර කවියාගේ "අඳුර අපේ දුක නිවා වි" පද්‍ය පන්තිය අගය කළ හැකිය.

- දිසල්ජා කෝණාර- 



Key words 

අඳුර අපේ දුක නිවාවි රසාස්වාදය

යමන් කලුවෙ ගෙදර යන්න

අදුර අපේ දුක නිවාවි විචාරය

අදුර අපේ දුක නිවාවි විචාර pdf

අදුර අපේ දුක නිවාවි pdf download 

අදුර අපේ දුක නිවාවි රසාස්වාදය

ගුණදාස අමරසේකර

Adura ape duka niwavi rasaswadaya

Adura ape duka nivavi vicharaya pdf



Comments