Skip to main content

සිංහල විචාර 61 - නන්දි වාණිජ කතා වස්තුව විචාරය 02 | Saddharmalankaraya

සිල් රැකීම, බණ කතා ඇසීම, බුදුගුණ මෙනෙහි කිරීම, මගින් සිදුවන ආනිසංස ප්‍රකට කිරීමට සද්ධර්මාලංකාර කතුවරයා සමත් වී ඇත. නියමිත කතා පුවත් (නන්දි වාණිජ වස්තුව) ඇසුරෙන් විමසන්න.

සිංහල බන කතා සාහිත්‍යාවලියේ සදානුස්මරණීය කෘතියක් සේ සැලකිය හැකි සද්ධර්මාලංකාරය ගම්පොළ යුගයේ දෙවන ධර්ම කීර්ති හිමියන් විසින් රචිත සුවිසල් බණ කතා සංග්‍රහයක් වේ. අකුරු ලිවීමට හෝ පාලි බස කියවීමට නොදත් සිංහල ජනයාගේ ශ්‍රද්ධා බුද්ධි වර්ධනය කොට ධර්මයෙහි හැසිරීම තුළින් සිදුවන මහානිසංස ප්‍රකට කරවමින් කතා පුවත් විවරනය කෙරෙයි.

සද්ධර්මාලංකාරයෙහි හමුවන "නන්දි වාණිජ වස්තුව" සමාරම්භ කරන කතුවරයා ධාර්මික ජීවන වෘත්තියක නියැලෙන නන්දිය වෙළෙදානන්ගේ ගති ලක්ෂණ අසන්නන්ට මැනවින් ඉදිරිපත් කර ඇත්තේ මෙලෙසින්ය.

"මෙම ලංකාද්වීපයෙහි මාවටු නම් පටුන්ගම නන්දිය නම් වෙළදාන කෙනෙක් වෙසෙති. ඒ වෙළෙදාණෝ ශ්‍රද්ධා සම්පන්න සහ තුනුරුවන් ම මට පිහිටය යි මමත්වය ඇතියහ"

නන්දි වාණිජ වස්තුවෙහි එන ප්‍රධානතම චරිතයක් වූ නන්දිය වෙළෙදානන්ගේ සිල්වත් භාවයත් තුණුරුවන් කෙරෙහි ඇති අචල විශ්වාසයත් කතා පුවත සමාරම්භයේ දීම කතුවරයා ගම්‍යමාන කරයි. යහගුණ සපිරුණු උත්තම ගුණයෙන් පිරිපුන් සැදැහැවතුන්ට ජීවන මං පෙතෙහි වරින් වර සිදුවන්නා වූ නොයෙකුත් හිරිහැර හා කම්කටොලු වලින් පවා මිදීමට හැකියාව ඇති බව සනිටුහන් වන සේ කතා පුවත විකාශනය කෙරෙයි.

මාවටු පටුන්ගමෙන් බදු පඬුරු ලබා ගැනීම පිණිස රජතුමා මෙහෙය වූ සිව අමාත්‍යවරයා එම පටුන්ගමට පිවිසෙයි. එහිදී නන්දිය වෙළෙන්දාණන්ගේ බිරිඳ දැක ඇයගේ රූ ස්වභාවයෙන් කම්පිතව ඇය වසඟයට ගැනීමේ දැඩි අපේක්ෂාවෙන් සිව අමාත්‍යවරයා ක්‍රියාකරයි. සිව අමාත්‍යවරයා මසු දහස් ගණන් ලබාදී නන්දිය වෙළෙන්දානන්ගේ බිරිඳ සිය ග්‍රහණයට ගැනීමට උත්සාහ දරයි. භාර්යාවගේ මුවට නංවන වදන් ශ්‍රද්ධා බුද්ධි වර්ධනයට ඉවහල් වන අදහස් සමුදායකි.

" වෙළදානන්ගේ භාර්යාවෝ ස්වභාවයෙන්ම තුණුරුවන් කෙරෙහි මමත්වය ඇති ව ශ්‍රද්ධාවන්ත හෙයිනුත් මේ කුණු ශරීරයෙන් තොපගේ අමාත්‍යයට ප්‍රයෝජන කිම්ද? "

මේ ආකාරයෙන් වෙළෙදාණන්ගේ බිරිද පවා තුණුරුවන් කෙරෙහි මමත්වය හෙවත් විශ්වාසය ඇතිව ශ්‍රද්ධාවෙන් දිවි මගට පිළිපන් තැනැත්තියක් බව කතුවරයා දක්වයි. සිව අමාත්‍යයා ද නැවත නැවත වෙළෙද භාර්යාවන් වෙත මසුරන් දහස් ගණන් යවමින් ඇය ග්‍රහණයට ගැනීමට යත්න දරයි. එම අවස්ථා වලද මේ වෙළද භාර්යාව විසින් ධර්මානුකූල අවවාදයන් සමුදායක් ප්‍රකාශ කරනු ලබයි.


ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.  


"එම්බා නැගණියනි මේ ශරීරය කිසි ගත යුතු සාරයක් නැත්තේය. නිස්සාරය ජරා මරණ ව්‍යාධි ආදී පීඩනය සියලු ආරෝග්‍යන් ව්‍යාධි කෙලවර කොට ඇත්තේය.."

මෙවැනි ධර්ම අවවාද සමාජ සාරධර්ම ප්‍රවර්ධනයට අතිශයින් හරවත් ය.

වෙළද භාර්යාව කී බස් දාසිය විසින් සිව අමාත්‍යයට පැවසුවද අඥාන වූ ඔහු ඒවා පිළි නොගෙන නන්දිය වෙළෙන්දා මරා තම අදහස සඵල කර ගැනීමට ප්‍රයත්න දරයි. එහිදී යකෙදුරෙකු ලවා රාක්ෂයෙකු යවන්නේ නන්දිය වෙළෙන්දා ඝාතනය කර පැමිණෙන ලෙස පවසාය. ආපසු සිය දේශයට පැමිණෙමින් සිටි වෙළද පිරිස යක්ෂයා දැක බියෙන් කෑ ගසන්නට විය. එම අවස්ථාවේ දී නන්දිය වෙළෙදාණෝ හරවත් වූ උපදෙස් මාලාවක් දෙනු ලබයි.

"එසේ වී නම් පින්වත්නි තොප සැම අප්‍රමාදව මෛත්‍රි භාවනාව කරව. තොප හැමට මෛත්‍රීය හා සමාන අනිත් පිළිසරණක් නැතැයි කියා' ඇම දෙනාම සාම්‍යක් සම්බුද්ධ වූ බුදුරජාණන් වහන්සේගේ නම කියා ශරන ගත එව' යි කීහ. එපවත් අසා ඒ සියල්ලෝම බුද්ධං සරණං ගච්ඡාමි යනාදීව සරණ ශීලයෙහි පිහිටියහ"

මෙසේ නන්දිය වෙළෙදානන්ගේ මුවට නංවන භාෂනය හරවත්ය. ධර්මානුකූලය. බෞද්ධ සාරධර්ම වලට අනුකූලව ජීවත් වීම තුළින් හා ධර්මයෙහි හැසිරීම තුළින් තමන්ට පැමිණෙන ඔනෑම උපද්‍රවයක් පිටු දැකීමට හැකියාව සැලසෙන බව කතුවරයා මැනවින් ඉදිරිපත් කරයි. බණ ඇසීම, සිල් රැකීම හා බුදු ගුණ මෙනෙහි කිරීම මගින් සිදුවන මහානිසංස මැනවින් ජන හදවතට සමීප කරවීමට සද්ධර්මාලංකාරය කතුවරයා සමත්ව ඇත.


W.A කුමුදුමාලි හංසනී
උසස් පෙළ කලා අංශය 
කු / තිසෝගම ජාතික පාසල



නන්දි වාණිජ කතා වස්තුව විචාරය 01


Saddharmalankaraya (book), which can be regarded as a memorable work of Sinhala "bana katha" (like sermon) literature, is a vast collection of "bana katha" written by the second Dharma Keerthi Thero of the Gampola era. Stories are explained by developing the religious intelligence of the Sinhalese people who do not know how to write letters or read Pali language and reveal the great virtues that occur through the conduct of Dharma.

The author who inaugurates the "The story of Nandi Vaanija" found in the Saddharmalankara has thus well presented to the listeners the characteristics of man named Nandi who merchant engaged in a profession of pious life.

Continue..

Comments