Skip to main content

සිංහල විචාර 59 - නන්දි වාණිජ කතා වස්තුව විචාරය 01 | saddharmalankaraya

උතුම් මිනිස් දම් පිරිහීම නිසා මිනිසාට මෙලොව දීම සිදුවන පරිහානිය "නන්දිවාණිජ" කතා වස්තුවෙන් ප්‍රකට වේ. විමසන්න.

ගම්පොළ යුගයේ ද්විතීය ධර්මකීර්ති හිමියන් විසින් රචිත සද්ධර්මාලංකාරය වූ කලී පාලි රසවාහිනිය මූලාශ්‍ර කර ගනිමින් විරචිත අගනා බණ කතා සංග්‍රහයකි. පොදු ජන හදවත් තුළ අවිද්‍යාව නැමැති අන්ධකාරය පලවා ශ්‍රද්ධාව බුද්ධිය වර්ධනය කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් සද්ධර්මාලංකාරය රචනා වී ඇත්තේය.

කුසල කර්මවල යෙදීමෙන් ඊට අනුරූප ප්‍රතිඵලයක්ද, අකුසල කර්මවල යෙදීමෙන් ඊට අනුරූප විපාක ඵලද ලැබෙන බව ධ්වනිත වන සේ නන්දි වාණිජ කතා වස්තුව සහෘදයාට ඉදිරිපත් කෙරේ. නන්දි වාණිජ කතා වස්තුව තුළ සමාරම්භ කරන කතුවරයා නන්දිය වෙළෙදාණන්ගේ ශ්‍රද්ධාවන්ත භාවය ප්‍රථමයෙන්ම ශ්‍රාවකයන්හට ස්ථිර කර ඇත්තේ මෙලෙසින්ය.

" මේ ලංකා ද්වීපයෙහි මාවටු පටුන්ගම නන්දිය නම් වෙළදාන කෙනෙක් වෙසෙති. ඒ වෙළෙදාණෝ ශ්‍රද්ධා සම්පන්නය. තුණුරුවන් මට ම පිහිට යැයි මමත්වහය ඇතියහ"

නන්දිය වෙළෙන්දාගේ බිරිද උඩුමහලේ සිට මාවටු ගමෙහි උත්සව බල බලා සිටි මොහොතක රජතුමා විසින් මාවටු වෙළදගම බදු පඬුරු ගැනීමට එවන ලද සිව අමාත්‍යයා ඇය දකිනු ලැබිණි. ඔහු ඇය කෙරෙහි සිත් ඇති කරගෙන ඇය කවුරුන්දැයි තමා හා එක්ව යන්නන්ගෙන් විමසා සිටියි. එම අවස්ථාවේ දී ඇගේ ස්වාමි පුරුෂයා ගමෙහි නොමැති බව සෙස්සන් පැවසීම නිසා සිව අමාත්‍යවරයා කිසි කෙනෙකුත් නොදන්නා ආකාරයට රහසින්ම රන් දහසක් දී එක් දාසියක් වෙළඳ භාර්යාව සමීපයට යවයි. නමුත් භාර්යාව ශ්‍රද්ධාවන්ත වූ නිසා ඊට මුලා නොවේ. මෙම අවස්ථාවේ අමාත්‍යවරයාගේ ගති ලක්ෂණ කතුවරයා මැනවින් ඉදිරිපත් කර ඇත්තේ මෙසේය.

"අමාත්‍යයා රාගයෙන් මත්ව මෝහයෙන් මුලාව මෙලෝ පරලෝ කටයුතු නොකටයුතු සලකා ගත නොහී. .. "

සිව අමාත්‍ය මෙසේ දෙවන තෙවන සිව්වන වාරයන්හි තුටු පඬුරු දහස් ගණනින් වැඩි කරමින් දාසියක මෙහෙයවා වෙළඳ භාර්යාව වෙත යවා ඇය ග්‍රහණයට ගැනීමට උත්සාහ ගනියි. තෙවන අවස්ථාවේදී භාර්යාවගේ මුවට නංවන වදන් තුළින් උතුම් මිනිස් දහම් නොපිළිපැදීමෙන් සිදුවන වියසන පිළිබඳව මනාවට ඉදිරිපත් කෙරෙයි.

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.  


" මේ ලෝකයෙහි ස්ත්‍රී පුරුෂ යම් කෙනෙක් අනුන්සන්තක භාණ්ඩයෙහි වරදවා පවතිත්ද හෙවත් පුරුෂයෝ පර ස්ත්‍රී සේවනය කෙරෙත්ද ස්ත්‍රී ජාතීහු පර පුරුෂයන් සේවනය කෙරෙද්ද එසේ අපරාධ කල ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම නින්දාත් පැමිණෙති. දණ්ඩනාදියත් වන්නේය. මෙසේ මෙලොව නොයෙක් ව්‍යසනයන් විද පර ලොවැ නරකයෙහි ඉපද සියක් යොදුන් උස ඇති සොළොසැගුල් දිග කටු ඇති කොළඉඹුල්වෙනෙහි ඉවසිය නොහැකි දුක් විඳිති"

මෙසේ කෙතරම් උපදේශ දුන්නත් මෝඩ අඥාන සිව අමාත්‍යය මෙලොව පරලොව දුක්ඛ දෝමනස්සයන් පිළිබඳව නොසිතා ක්‍රියාකරයි. සිව අමාත්‍යවරයා නන්දිය වෙළෙන්දා ඝාතනය කරන්න සිතයි.

"මේ උන්නා වූ තොප ඇමදෙනා අතුරෙන් පරදේශයට ගිය මිනිසුන් මරන්ට කවරෙක් සමර්ථදැ "

මෙසේ මිනිස් ගුණධර්ම නොසලකා ක්‍රියා කරන අඥාන අමාත්‍යවරයාගේ අරමුණ ඉටු කර ගන්නට උත්සාහ දරන ආකාරය මැනවින් විශද කරයි.

සිව අමාත්‍යයාගේ බසට එකග වූ යකිදුරෙක් මහවටුවේ සොහොන් පලට ගොස් මළ මිනියක් රැගෙන එතනින් බල බිලි පුදා අමාත්‍ය සමග මන්ත්‍ර ජප කර අමනුෂ්‍යයෙක් ගෙන්වා නන්දිය වෙළෙන්දා මරණයට පත් කිරීමට උත්සාහ දරයි. 

"එම්බල මේ කඩුව ඇරගෙන ගොස් නන්දිය නම් වෙළදානන් මරා වහා පල එව"

එම අවස්ථාවේ බියට පත්වී කෑ ගැසූ වෙළද පිරිසට නන්දිය බමුණානෝ මෙසේ පවසනු ලබයි.

"එසේ වී නම් පින්වත්නි, තොප හැම අප්‍රමාදව මෛත්‍රී භාවනාව කරව, තොප හැමට මෛත්‍රීය හා සමාන අනිත් පිළිසරණක් නොමැත"

මෙසේ තුණුරුවන්ගේ අගය වටහා දී හොද නරක තෝරා ගැනීමට මග පෙන්වයි. නන්දිය බමුණානෝ හොද සත් පුරුෂ ලක්ෂණ පෙන්වා දී ජීවිතයට එන දුක් කම්කටලු වලින් මිදීමට එම සත් ගුණ ධර්ම එසේ උපකාර වන බව පෙන්වා දෙයි.

දෙවන තුන්වන වරටද යකඳුරා අමනුෂ්‍යයින් යවනු ලබයි. නමුත් වෙළෙන්දාට හිරිහැරයක් කිරීමට නොහැකිව යක්ෂයෝ අවේශ වී ආපසු ගොස් යකැදුරා හා සිව අමාත්‍යයා දෙපලු කොට මරා දමයි. මෙසේ අමාත්‍යයා අනුම් මැරුමට උපක්‍රම කොට තෙමේම මරණයට පත්වෙයි.

"යම් කිසි කෙනෙක් අපරාධයක් නැති ගුණවත් කෙනෙකුන් මරන්නට උත්සාහ කෙරෙත්නම් එසේ වූ අසත්‍ පුරුෂයා නන්දිය නම් වෙළෙන්දා මරන්නට උපක්‍රම කොට මරා ගත නොවී විනාශයට පැමිණි සිව නම් අමාත්‍යයා මෙන් තෙමේම නස්නේය"

මේ ආකාරයේ කුරිරු අධම හැසිරීම් නිසා සිදුවන විපාක මෙලොව දීම ඵලදෙන බවත්, උතුම් ගුණ ධර්ම වලින් යුක්ත වූවන් කුමන කරදර පැමිණියද ජයග්‍රහණය කරන බවත් මැනවින් හෙලි කරයි. නන්දිය වෙළෙන්දා භාර්යාවත් ඇතුළුව පිරිවරා නොයෙක් පින්කම් කර දිව්‍ය ලෝකයේ උපන්නාය. සිව අමාත්‍යයා හා යකදුරා අකාලයේ මරණයට පත් වූවාය. ඒ අනුව මෙවැනි වූ කතා පුවත් තුළින් උතුම් මිනිස් ගුණ දම් පිරීමෙන් යහපත සැලසෙන ආකාරය සේම එම ගුණ දම් පිරිහීමෙන් විනාශයට පත්වන ආකාරයත් පැහැදිලි කරයි.


W.A කුමුදුමාලි හංසනී
උසස් පෙළ කලා අංශය 
කු / තිසෝගම ජාතික පාසල 


Comments