සද්ධර්මරත්නාවලී කතුවරයා ප්‍රබල අවස්ථා සිද්ධි යොදා ගනිමින් හරවත් හා රසවත් කතාවක් ඉදිරිපත් කර ඇත. මට්ටකුණ්ඩලී කතා වස්තුව හා කුණ්ඩලකේෂී කතා වස්තුව ඇසුරින් නිදසුන් සහිතව පැහැදිලි කරන්න.
"සද්ධම්මට්ඨිත මිච්ජන්තෝ ධම්මසේන යතිස්වරෝ" යනුවෙන් කියවෙන ධර්මසේන හිමිපාණන් විසින් විරචිත සද්ධර්මරත්නාවලිය ශ්‍රාවක ජනී ජනයාගේ හද තුල ලැගුම්ගත් මා හැගි ධර්ම පුස්තකයකි. මෙය රචනා කරන ලද්දේ නූගත් ගැමියන් උදෙසාමය. "නුවණ මදවත් කුසලච්ජන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලදී නම්" යන පාඨය තුළින් ඒ පිළිබඳව මනාවට පැහැදිලි වෙයි. පුරාතන ගද්‍ය සාහිත්‍ය ඉතිහාසයේ ස්වර්ණමය යුගය වන දඹදෙණිය යුගයේදී පාලි ධම්මපදට්ටය මූලික කරගෙන මෙම සද්ධර්මරත්නාවලිය රචනා කර ඇත.
ධර්මසේන හිමි සද්ධර්මරත්නාවලී කර්තෘ හැටියට ප්‍රබල අවස්ථා සිද්ධි යොදා ගනිමින් හරවත් රසවත් කතාවක් ඉදිරිපත් කර ඇත. මට්ටකුණ්ඩලී කතා වස්තුවේ එබඳු අවස්ථා හා සිද්ධි රැසකි. පාඨක ශ්‍රාවක සිත් තුළ ශ්‍රද්ධා භක්තිය දැනවෙන අවස්ථාවක් ලෙස බුදුන් වහන්සේ මට්ටකුණ්ඩලී වෙත වැඩම කිරීමට සූදානම් වන විලාසය වාග් චිත්‍ර මැවෙන අයුරින් දැක්වෙන අවස්ථාවකි. ඒ බව පහත උදෘතයෙන් මනා ලෙස පැහැදිලි වේ.
".. දවස් උදෑසන අලතාපිඬෙක ඇතිවූ පබළු දළු වැනි දෝහෝ නොයෙක් ලා රසෙහි ගලා ඔසවාගත් කොබෝලීල මල්දමක් වැනි වූ තමන් වහන්සේගේ හදනා සිවුර රත්කොට ගෙන ත්‍රීමණ්ඩලපටිච්ජාදන වසයෙන් පෙකෙණියත් දෙදණ මඩුලුත් වසා.."
අවස්ථා නිරූපණයන් නිසා පාඨක ශ්‍රාවක සිතේ විවිධ රසමැවේ. එය කතා රසයට හේතුවේ. හාස්‍ය උපහාසය මැවෙන කතා රසයට ඉවහල් වූ අවස්ථාවන් කතා පුවතේ හමුවේ. අදින්නපුබ්බක මියගිය පුතා මිහිදන් කොට අඩන අවස්ථාව එබඳු උපහාසාත්මක අවස්ථාවකි. මට්ටකුණ්ඩලී මිය යන්නේ පියාගේ මසුරුකම නිසාය. පාණ්ඩු රෝගය වැළදෙන තුරු ආහාර ලබා නොදීමත් එම රෝගය වැළඳුණු පසු එයින් මුදවාලීමට ප්‍රතිකාර නොකිරීමත් නිසා මට්ටකුණ්ඩලී ළමා වියේදීම මියගියේය. එම ශෝකය සංසිඳවා ගැනීමට අදින්නපුබ්බක සොහොන් පිටියට පැමිණ හඬන්නේය. මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා එය දැක තම පියා වෙහෙසට පත් කළේය. එය හාස්‍ය රසය පිරුණු අවස්ථාවකි.
"මට මේසා මහත් හානියක් කල තැනැත්තාහු මෙ විතරක් මද තවත් මුසුප්පු උපදවමියි වෙස මවාගෙන සොහොන් බිම කරා ගොසින් අත හිස තබාගෙන වැත්තා දක්නට ආ නෑ කෙනෙකුන් මෙන් හඬ හඬා සිටියේය"
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා දිව්‍ය විමානය සමගින්ම බුදුන් ඉදිරියේ පෙනී සිටින අවස්ථාව තවත් අද්භූත රසයක් දැනවෙන අවස්ථාවකි. මෙම අවස්ථා නිරූපණයන් නිසා කතා රසය තීව්‍ර වෙයි. තවද එවිට කතාව වඩාත් උවමනාවෙන් අසා සිටින නිසා නිරායාසයෙන්ම ධර්මාවබෝධය ලබා ගනී.
"මට්ටකුණ්ඩලී දෙව් පුත් තමාගේ දිව සැපතින් පිරුණු මළිගාව හා සමග එව'යි සිතා වදාල සේක. බුදුන් එසේ සිතා වදාල සිතුවිල්ල හා සමගම දෙව්බරණින් සැරහුණා වූ තුන්ගව් පමණ අත්බැවින් අවුත් විමනින් බැසපියා බුදුන් වැද එකත්පස්ව සිටියේය."
මේ ආකාරයෙන් ධර්මසේන හිමි ප්‍රබල අවස්ථා හා සිද්ධි යොදා ගනිමින් රචනා කරන ලද විශිෂ්ට කතා වස්තුවක් ලෙස මට්ටකුණ්ඩලී කතා වස්තුව හැදින්විය හැක. ධර්මසේන හිමි අතින්ම ලියවුන මාහැකි ග්‍රන්ථයක් වන සද්ධර්මරත්නාවලියේ එන කුණ්ඩලකේෂී කතා වස්තුවද ප්‍රබල අවස්ථා හා සිද්ධි යොදාගෙන නිර්මාණය කර ඇති බව පෙනේ. කුණ්ඩලකේෂී කතාවෙන් කියවෙන්නේ ඉතා රූමත් දියණියක් ආරක්ෂාව පිණිස සිරගත කරගෙන වර්ධනය කළද ඇය, මරා දැමීමට කැඳවාගෙන යන සොරෙකු දැක ඔහුට ආල සිත් ඇතිවී ඔහුව තමන්ට අවශ්‍ය බව පවසා දෙමාපියන් ලවා ගෙන්වාගෙන විවාහ වී දුකට පත්වූ කතාවකි.
මෙහිදීද වාක්‍චිත්‍ර මැවෙන පරිදි ප්‍රබල අවස්ථා හා සිද්ධි යොදාගෙන මෙම කතා පුවතේ ද කතා රසය තීව්‍ර කර ඇත. ඒ අතර එක් අවස්ථාවක් නම් සිටු දියණිය සොරාව පතා දැඩි අකීකරුකමකින් බතුත් නොකා සිටින අවස්ථාවයි. එය වාක්‍චිත්‍රමවන ප්‍රබල අවස්ථාවක් වන්නේ ඒවාගේ දැරියක පිළිබඳ සිතන විටය.
"මරන්නට ගෙනයන තැනැත්තා වූ දැක ඔහු කෙරෙහි පිළිබඳ සිත් ඇතිව ඌම පතා බතුන් නොකා යානට නැගිලා වැදහොත්තේය"
දෙමාපියන් ඒ පිළිබඳ සාකච්ඡා කරමින් අවවාද උපදෙස් දෙමින් ගැලපෙන පුද්ගලයෙකු සොයාදෙන බව පැවසූ අවස්ථාවේ ක්‍රියාකරන ආකාරයද ඊටම සහ සම්බන්ධ වන අවස්ථාවකි.
"අපට අනික් කවුරුනුත් නොකැමැත්තේ මුත් නොලදොත් මියෙමි කිවුය."
පව්ව මත දී සිටු දියණිය සොරා තල්ලු කර හැරිය අවස්ථාවද ඉතාම සජීවීව පාඨක ශ්‍රාවක සිත් තුළ මැවෙන අවස්ථාවකි. එම අවස්ථාව කුතුහලය ත්‍රාසය පිරුණු එකකි. කුමරියව සොරා පවුවෙන් පහළට තල්ලු කර දමයිද, සොරා කුමරියව තල්ලු කර දමයි ද යන කුතුහලය පාඨකයා තුළ ගොඩනැගේ.
"තුමු පිටිපස්ව ලා එක් අතකින් බොටුව අල්වාගෙන එක් අතෙකින් පිටිමුල අල්වාගෙන ඌගේ කාය බල තරමට තමන්ගේ ඥානකෘති වූ මායාබලය මහත් හෙයින් ගල් මුදුනෙන් දැමුව.."
කුණ්ඩලකේසී වස්තුවේ තවත් අවස්ථා සිද්ධි නිරූපණයක් ලෙස ජම්බුපරිබ්‍රාජිකාව දඹ අත්ත සිටුවා ගිය පසු කුඩා ළමුන් ඒ වටා රැස්ව සිටීමත් සැරියුත් හිමියන් එතැනට වැඩම කොට දඹ අත්ත පෑගූ අවස්ථාව නම් කල හැකිය. එසේ පෑගු අවස්ථාවේ එතැන රැස්ව සිටි ළමුන් කෑකෝ ගසමින් සතුටින් ඉපිලමින් වැලි උඩ දමමින් ක්‍රියාකළ අයුරු සංකල්ප රූප මැවෙන ආකාරය කවරෙකුට වුවද දැකිය හැකිය. එහි සජීවී බවක් ඇත.
" එසේ වී නම් දඹ අත්ත මඩුවයි වදාරා බම්හ'යි කී කල්හි වාද කිරීම අපට භාරය. තෙපි මඩුව'යි වදාළ සේක. මහ තෙරුන් වහන්සේගේ බසින් තුමූ උපන් උත්සාහ ඇතිව අත්ත මැඬ හඬගසමින් ධූලි උඩ නංවා පීහ."
මේ ආකාරයට සද්ධර්මරත්නාවලි කතුවරයාණෝ ධර්මසේන හිමිපාණෝ ප්‍රබල අවස්ථා සිද්ධි යොදා ගනිමින් හරවත් හා රසවත් කතාවක් ඉදිරිපත් කර ඇති බව ඉහත කතා වස්තු දෙක තුළින් මනාවට පැහැදිලි වේ.
P.G උමේෂා සචිනි දිසානායක
උසස් පෙළ කලා අංශය
පු/ මුන්දලම සිංහල මහ විදුහල
Comments