නාගල කන්ද රසාස්වාදය
නූතන පරපුරේ ප්‍රකට කවියෙකු වන විමල් දිසානායක කවියාගේ නාගල කන්ද පද්‍ය පන්තිය රසාස්වාදය කරමු.
විමල් දිසානායක සඳැස් කාව්‍ය පරපුරත් නූතන කාව්‍ය පරපුරත් යා කළ කවියෙකි. මිශ්‍ර ආකෘතියක් වහල් කොටගෙන කාව්‍යකරණයෙහි නියුතු විමල් දිසානායක විසින් රචිත නාගල කන්ද නැමැති පැදිපෙළ අතීතකාමී අනුභූතියක් විෂය කර ගත් පැදි පෙළකි. උපන් රටින් බැහැර වී දිවිගෙවන පුද්ගලයෙකු අත්විදින හුදකලාව පාළුව හා ජීවන අරගලයෙහි වෙහෙසකර භාවය ඉදිරිපත් කිරීම පද්‍ය පන්තියෙහි අරමුණ වී ඇත.
පෙනෙයි නාගල කන්ද පැරණි මිතුරෙකු විලස"
කොළ හැලී ඇට සැකිලි ගස් පෙනේ එක දිගට
මට අරුම ලොවක් මැද නැගෙයි තනිකම රුදුරු
මගේ ගම මගේ බස නෑ සියන් නොම පෙනේ"
ශීත සෘතුවෙහි සුදු හිමෙන් ආකූල ගිම්හානයේ කොළ හැළී ගිය කුණාටු ගස් ඇති නුහුරු කොදෙව්වක දිවි ගෙවන කථකයාට අපේකම දැනෙන අයුරු මගේ ගම, මගේ බස යන යෙදුම්වලින් ධ්වනිත වේ. මෙයින් හුදෙකලාව හා බැඳුනු මානව ධර්මතා වඩාත් විශද වේ. ඒ අතර ඔහුට මතකයෙහි දෑසින් සුමිතුරන් වී සිටින්නේ නාගල කන්දයි. එමෙන්ම එහි ඇති "කොළ හැලී ඇට සැකිලි ගස්" යන්න දෘශ්‍ය ගෝචර සංකල්ප රූපයකි.
සිත සිතා උපන් රට ගැන නිබද දුක් වෙමින
බලන විට අවට ලොව ඇර මතකයෙහි දෙයැස
පෙනෙයි නාගල කන්ද පැරණි මිතුරකු විලස"
විදෙස් ගතවීම පිළිබඳ කලකිරුණු සිත් ඇති කථිකයා උපන් රට පිළිබඳ ස්මරණයක යෙදීම තමන්ගේ රටෙහි අගය දැනීමට සිය රට අතහැර යා යුතු ය යන අදහස තහවුරු කරන්නකි. එවිට තම හුදකලා බව දුරලන්නේ පැරණි මිතුරකු විලස හුන් නාගල කන්දයි. "මතකයෙහි දෙයැස" යන රූපකය ද නාගල කන්ද පැරණි මිතුරකු විලස යන උපමාව ද ඖචිත්‍යයෙන් හෙබි සංකල්ප රූපය.
ඇමරිකන් බලය මත දනන් නිති පොලඹවන
මැරුණු ගිනිකදු අතර වියරු ගිනිකදු තිබෙන
මට නොරිසි මෙ දූවට පැමිණියේ කුමකටද? "
තනිකමේ වෙළී ගෙන හද පිරුණු දොම්නසින"
තමන් දිවි ගෙවන කොදෙව්ව පිළිබඳ සිතුවම් කරන කථකයා ඇමරික් බලය පැතිරුණ මැරුණ වියරු ගිනිකදු තමන්ට නොරිසි දූවක් ලෙස සඳහන් කරයි. මෙරට පුරුදු ශිල්ප කලා අතර සැරිසැරූ ඔහුට නුහුරු හවායි දූවෙහි දැනෙන හුදෙකලාව මෙයින් හඳුනාගත හැකිය. මෙහි එන "දිවයිනෙකි", "වියරු ගිනිකඳු" ආදිය වියත් වහර යෙදීමකි.
කාසි මලු සොය සොයා දිවා රෑ වෙහෙස වෙන
දනුන් පිරි මේ රටෙහි නිහඩ බව මරා ඇති
ජිවිතේ අරුත කිමදැයි අසමි මම මගෙන්"
මේ රටේ පාළුවක් දැනෙයි ඉවසිය නොහැකි"
කාලයේ දේසයේ රැහැන් බිද මවෙත එන"
තම භාෂාව සංස්කෘතිය හා කලාව අහිමි වූ විට ඇතිවන සංස්කෘතික හුදෙකලාව භෞතික තත්ත්වයන් ඉක්මවා පවතින ආකාරය ප්‍රබලව පැහැදිලි කරයි. "සිරුර ගිනිගත් විලස කලබලයෙන් දුව පනින කාසි මලු සොය සොයා දිවා රෑ වෙහෙස වෙන" යන්නෙන් යාන්ත්‍රික ජීවිතයක ඇති නිරස කටුකත්වයත් සංස්කෘතික හුදෙකලාවත් ධ්වනිත කරයි. එමෙන්ම සිය බස නෑසෙන මානයේ සිය බසෙහි සිප් කලා ජීරණය වූ පුද්ගලයෙකුට දැනෙන තනිකම හා බැඳුන පරිතාපය මෙයින් රූපණය වේ. එමෙන්ම "චීන බසමයි- දිවා රෑ සවන වැකෙන්නේ " යන්න ද ප්‍රබල ශ්‍රව්‍ය ගෝචර චිත්ත රූපයකි.
රෝම ඉලක්කම් තුනක් භාවිතා කොට රටවල් තුනක අත්දැකීම් විවරණය කරන අතරම "පෙනෙයි නාගල කන්ද පැරණි මිතුරකු විලස" යන උපමාව සිව්වරක් යෙදීම මගින් ගම හා බැදි මතකයෙහි තදාත්මීය සබඳතාව ප්‍රබලව ධ්වනිත කරයි.
පස්මත් තැටි සැහැලි විරිතත් වියත් හා කටවහරත් මිශ්‍ර කොට සරල බසින් රචිත මෙම පැදි පෙළින් උපන් බිමෙන් ඈත්ව තමා උද්ග්‍රහණය කළ සහජාත සංස්කෘතියෙන් වියෝවී ගෙවෙන දිවියෙහි ඇති අතෘප්තිකර, නීරස භාවයත්, නිරාර්ථක භාවයත්, නිස්සාරයත් "නාගල කන්ද" පැදිපෙළෙහි ජීවන දෘෂ්ටිය ලෙස ඉස්මතු වෙයි. විමල් දිසානායක සූරීන්ගේ පෞද්ගලික අනුභූතියක් ඇසුරෙන් රචිත නාගල කන්ද පැදිපෙළ සාර්ථක නිර්මාණයක් ලෙස අගය කළ හැකිය.
(සංඝමිත්තා බාලිකා විද්‍යාලය
කිරිඳිවැල)
Comments