Skip to main content

සිංහල විචාර 49 - කොළඹ යුගයේ වැඩිහිටි කවි පරපුර පද්‍ය විචාරය 01

කොළඹ යුගයේ වැඩිහිටි කවි පරපුර පද්‍ය විචාර

කොළඹ යුගයේ වැඩිහිටි කවි පරපුරේ කවියා තම පද්‍ය පන්ති සාර්ථක කර ගැනීම සඳහා කාව්‍යාලංකාර භාවිත කොට ඇත. නියමිත පද්‍ය පන්තීන් ඇසුරින් විමසන්න.


විසිවන සියවස ආරම්භ වීමත් සමඟම කාව්‍යකරණයට අවතීර්ණ වූ කවින් කොළඹ යුගයේ වැඩිහිටි කවි පරපුරේ කවීන් ලෙස හදුන්වයි. ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමි, ආනන්ද රාජකරුණා, එච්. ජී. එච්. පෙරේරා, කුමාරතුංග මුනිදාස, පියදාස සිරිසේන වැනි කවීන් කොළඹ කවිය බිහි කිරීමට මුල් වූවෝ වේ. පැරණි කවිය මුල්කරගත් මොවුන්ගේ කාව්‍ය නිර්මාණ වල පැරණි කවි බස, පැරණි කවියේ ආකෘතිය හා වස්තු විෂයම අනුගමනය කර ඇති බව පෙනේ. වැඩි වශයෙන් කොළඹ යුගයේ වැඩිහිටි කවි පරපුර විසින් ජාතික නිදහස සහ ළමයින් වෙනුවෙන් කවි රචනා කොට ඇත. ඔවුන් තම පද්‍ය පන්ති සාර්ථක කර ගැනීම උදෙසා කාව්‍යාලංකාර යොදා ඇති ආකාරය ඉදිරියට විමසමු.

ජාතික නිදහස පතා බොහෝ විට රචනා කොට ඇති ඇස් මහින්ද හිමියන් තමන්ගේ රටේ ජනතාව විදේශීය ආක්‍රමණිකයන් අතින් පීඩාවට පත්වනු දැක තමාගේ සිතෙහි ගොඩනැගුණු ආවේගාත්මක සිතුවිලි වචනයට නඟන්නේ සිරි ලක් වැසියන්ගේ යහපත උදෙසාය. නිදහසේ දැහැන, නිදහසේ මන්ත්‍රය, ලංකා මාතා, දරු නැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල ආදී දේශාභිමානී පද්‍ය උන්වහන්සේ විසින් රචනා කරන ලදී. සියම් රටේ උපත ලබා තම සොහොයුරා සමග ලංකාවට පැමිණි එස් මහින්ද හිමියන් හෙවත් ගිහි කළ තෂිනම්ගල් විදේශීයෙකු වූවද උන්වහන්සේගේ පැදි කියවූ සිංහලයෝ ඒ බව නොතැකූහ.

"ඔවා මුතු දම", "කව්මිණ", "ළමා කව් කළඹ" ආදී කෘති දැයේ දරුවන් උදෙසා උන්වහන්සේ විසින් රචනා කරන ලද කෘතීන්ය. ඒ අතර ලංකා මාතාවගේ ඇති උදාරත්වය වස්තු විෂය කර ගනිමින් නිර්මාණය කළ "ලක් මවුනි මගේ" කවි පන්තිය ලංකා මාතාවගේ විවිධ පැතිකඩයන් නිරූපණය කරයි.

"සිතකින් සිතනු බැරි තරමට තිබෙන    අගේ
 සැපතින් වැඩෙන පෙම්බර ලක් මවුනි  මගේ
 ලබමින් පිහිට ඉටු දෙවියන්ගෙනුත්      සගේ
 යහතින් ඉන්න මල් බර සල් රුකක්      වගේ"

සිතින් සිතන්නට නොහැකි තරම් සැප සම්පතින් පිරුණු ලක් මවට ඉටු දෙවියන්ගේ පිහිටම ලැබෙමින් මල් බර සල් රුකක් වගේ ශක්තිමත්ව සිසටීමට ලැබේවා' යි කවියා ප්‍රාර්ථනය කරයි. සල් ගස මුල සිට මුදුන දක්වාම මල් වලින් පිරි ඇති ඉතාමත් ශක්තිමත්, සෞභාග්‍යවත් මෙන්ම පූජනීය ශාකයක් වන හෙයින් කවියා ලක් මවගේ සශ්‍රීකත්වය මලින් බර වූ සල්ගසකට උපමා කොට දක්වයි. රූපකාර්ථවත් අනුප්‍රාසාත්මක, ධ්වනි පූර්ණ බස් වහරක් සේම මනා ලෙස එළිවැට රැකීම නිසා උන්වහන්සේගේ පද්‍ය අලංකාර විය.

"සතු වී තිබෙන කොට ඔබගේ සෙනේ  දම
 මුතු මිණි රනින් මට අත් වන පලේ     කිම
 පුතු වෙමි ඔබට උපදින හැම     තැනේදිම
 පැතු මෙන් මගේ සිරි ලක් මව වදිම්    මම"

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය. 


ලක් මවගේ සෙනෙහස නැමැති මාලය තමා සතු වූ පසු රත්තරන් මුතු මැණික් වැනි ඉතා වටිනා දෙයින් ද පලක් නොවන බවත් උපදින මතු හැම ආත්මයේම ලක් මවගේ පුතෙකු ලෙස ඉපිද ලංකා මෑණියන් වන්දනා කරන බව පවසමින් ද පාඨකයාගේ සිත තුළ තම දේශය පිළිබඳ ඇල්මක්, ආදරයක් ඇති කිරීමට කවි හිමියන් සමත් කම් පායි. මහින්ද හිමියන් එකම ශබ්දය නැවත නැවත කිහිප වාරයක් පුන පුනා යෙදීමෙන්, එලිවැට මුල ද, අගද සුරකිමින් අර්ථාන්විතව අර්ථ රසය සහ ශබ්ද රසය ද ගැබ් ගන්වමින් කාව්‍ය රචනා කොට ඇති ආකාරය පැසසිය යුතුය.

යොවුන් වියේදීම කාව්‍ය කරණයට බට තවත් වැඩිහිටි පරපුරේ කවියෙකු ලෙස ආනන්ද රාජකරුණා මහතා හැදින්විය හැකිය. ඔහු විසින් රචිත ගී පද වරක්වත් නොකියූ දරුවෙකු සොයා ගැනීමට නොහැකි තරම් ම ඔහුගේ නිර්මාණ කුඩා දරුවන් අතර ප්‍රසිද්ධ විය. සමකාලීන වීරයන් ගත් මග යමින් තම මුල් නම වූ ඇල්ෆ්‍රඩ් නාමය ද අත් හල මෙතුමන් ආනන්ද රාජකරුණා යන දේශීය නාමයෙන් ජනාදරයට පාත්‍ර විය. ඔහු විසින් නිර්මාණය කරන ලද සමනලයා පද්‍ය පන්තිය සමනලයෙක් දෙස බලා හිදින කුඩා දරුවෙක් වස්තු විෂය කර ගනිමින් රචනා කර ඇත.

"නුඹ තල ළහිරු බබළයි උණුසුම්ය      පවන් 
 බිඟු කැල උරයි වන මල් රොන් රසය නවන් 
 එහි ලොල නොවී පියඹා ආ ගමන    මෙවන් 
 සමනොල මිතුර නුඹටයි මගෙ ආයුබොවන් "

උදැසන හිරු නැගෙන, ගතට සිසිල් සුලඟ හමායන උදෑසනක මල් රොන් සොයා පැණි බොන මීමැස්සන් දෙස බලමින් ඒ සුන්දරත්වය අතරින් ඒවාට ඇලුම් නොකර පැමිණි සමනල මිතුරන්ට මුලින්ම දරුවා ආචාරකොට පිළිගන්නා ආකාරය පරිසර අලංකාර යොදමින් කවියා මනාව පෙන්වා දෙයි. "සමනොල මිතුර නුඹටයි මගෙ ආයුබොවන් " යන පද පේළියෙන් දරුවා සමනලයා වෙත ආදරණීය ආමන්ත්‍රණයක් කරන ආකාරය කවියා විදහා පායි. 

" ගන නිල් තණඟ පිනි ටික ටික  මැකෙද්දී
  සුවිසල් අරුණ දද පෙරඹර            දිලෙද්දි
  රොනවුල් සුළං රැලි දකුණෙන්      වැදෙද්දී
  සිරියල් බිමෙක විද නුඹ හිරු      නැගෙද්දී"

සිරියල් බිමක සිට ඉර එළිය වැටීමෙන් තණ පත් අග තිබෙන පිනි බිඳු ටිකෙන් ටික වාෂ්ප වන හෝ බිඳෙන ආකාරය හා උදෑසන සුළගේ විවිද මල්වල හා පැණිවලින් නැගෙන සුවද විදින සමනලයා චිත්තරූප මවමින් මවා පෑමට කවියා සමත්ව ඇත. මෙම පද්‍ය පන්තිය ඉතාමත් චමත්කාරය ජනකය. අවසාන කවියෙන් සමනලයාගෙන් සමස්ථ ලෝකයාටම සිදුවන වටිනාකම විස්තර කිරීමට කවියා අමතක නොකරයි.

මේ අනුව කොළඹ යුගයේ වැඩිහිටි පරපුරේ කවියා සරල බසින් අර්ථාන්විත වූ පද්‍ය වලින් තම දේශය හා ළමා සිතුවිලි පිළිබඳව කළ නිර්මාණයන් උදෙසා කාව්‍යාලංකාර යෙදීම මගින් පද්‍ය පන්තිය අති සාර්ථක වී ඇත. 

D.K.P.දිව්‍යා
(ඩී.බී.වෙළගෙදර මධ්‍ය මහා විද්‍යාලය කුරුණෑගල)


--------------------------------------

Comments