Skip to main content

සාහිත්‍ය රසාස්වාදය 18 - සමනලයා පද්‍ය රසාස්වාදය 03 - උසස් පෙළ

සමනලයා රසාස්වාදය (සමනොල මිතුර නුඹටයි මගෙ ආයුබොවන්)

නූතන කාව්‍යකරණයේ මුල් කාලීන අක්මුල් පිළිබිඹු කළ දැවැන්ත කාව්‍ය චරිත කිහිපයක් ලාංකීය සාහිත්‍ය ඉතිහාසය කවියෙන් බබලවා ඇත. එකී කාව්‍ය කරුවන් අතර ආනන්ද රාජකරුණා කවියාට හිමිවන්නේ සුවිශේෂ ස්ථානය කි. කවි රස හඳුන, ගීතානන්ද, රුක්මාවතී කතාව වැනි කාව්‍ය කෘති රැසක් මෙරට සාහිත්‍යයට දායාද කල ඔහු ළදරු ගී, ළදරු කව් මි ආදී ළමා කෘති වලින් ද ළමා කවිය සුපෝෂණය කළේ ය. ළදරු කව් මි iv වන ප්‍රමාණයේ ඉදිරිපත් වන සමනලයා පද්‍ය පන්තිය ආනන්ද රාජකරුණා ශූරීන්ගේ කාව්‍ය කරණයේ රසමුසු තැන් මනාව පිළිබිඹු කරන්නකි. 

"නුඹ තල ළහිරු බබළයි උණුසුම්ය      පවන් 
  බිඟු කැල උරයි වන මල් රොන් රසය නවන් 
  එහි ලොල නොවී පියඹා ආ ගමන    මෙවන් 
  සමනොල මිතුර නුඹටයි මගෙ ආයුබොවන් "

සමනලයා පද්‍ය පන්තිය සඳහා කවියා වස්තු විෂය කර ගන්නේ සමනලයා නැමැති පාරිසරික සෞන්දර්යාත්මක සත්ත්ව කොට්ඨාසයකි. ලොකු කුඩා සැමට එක සේ ප්‍රසන්න වන සමනලයා මගෙ ආයුබෝවන් යනුවෙන් උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයකින් පිළිගන්නා කවියා සමනොල මිතුර යනුවෙන් ආමන්ත්‍රණ භාෂාවකින් ඇමතීමද සිදු කරයි. සමනලයාගේ ආගමනය සිදු වන්නේ ළාහිරු මණ්ඩලය අහස් තලයේ බබළන බෘංගයින් වනමල් රොන් රසය උරා මල් මතම නවතින සොඳුරු උදෑසන කාලයකදී ය. දැඩි පාරිසරික සෞන්දර්යයවාදියෙකු එකී යෙදුම් හරහා මතු කරන කවියා වන මල් රොන් වලට ලෝබයෙන් තොර මනස්කාන්ත සත්ත්වයෙකු ලෙස සමනලයා දකී. 

"දඹ රන් සුණෙන් හෙබි සිරියල්  තලාවක
 සුබ සිරි හඳුන්වා සුපුරුදු          වෙලාවක 
 සිඹ සිඹ කුඩා ගස් වන මල්     බලානෙක 
 නුඹ ආ ගමන සීපද               ගායනාවෙක "

සමනලයා ඉඟිල එන්නේ රන් පැහැ කුඩු වැනි හෙවත් දඹ රන් කුඩු වැනි වැලි ගැවසුණු වැලි තලාවක් හරහා ය. එමෙන්ම උදෑසන කාලයේ සමනලයෙකුගේ සොඳුරු දසුන සුබාසිරියක් ලෙස දක්වන කවියා සිඹ සිඹ යනුවෙන් අනුප්‍රාසාත්මක භාෂාවක් යොදාගනිමින් විවිද වූ කුඩා මල් සිප ගන්නා බව කියන්නේ කුඩා කෘමියෙකු වූවද මෙම මනෝ රම්‍ය සත්ත්වයාගේ නිරීක්ෂණ හැකියාව ව්‍යංගාර්ථවත් කරමිනි. සමනලයාගේ ඉගිළ ඒමේ මනස්කාන්ත ගමන සීපද ගායනාවකට රූපකාර්ථවත් කරන්නට ද එතුලින් උපමාවාචී භාෂාවක ලක්ෂණ මතු කරන්නට ද කවියා සමත් වන්නේ සමනලයාගේ ගමන සීපදයක් ගැයෙන තරම් මිහිරි බව පවසමිනි. 

" ගන නිල් තණඟ පිනි ටික ටික මැකෙද්දී 
   සුවිසල් අරුණු දද පෙරබර           දිලෙද්දී "

සමනලයා දැක ගන්නට ලැබුණු හිමිදිරි කාලය කවියාගේ අලංකාර පාරිසරික විස්තර කථනයට බඳුන් වන්නේ රස මුසු තැන් රැසක් ස්පර්ශ කරමිනි. සාහිත්‍ය ලෝකයේ තද කොල පැහැ අර්ථ දක්වන්නට "ගන නිල්" යන්න දක්වන කවියා තණග, පෙරබර වැනි පද තුල සන්ධි භාවිතයක යෙදෙමින් ව්‍යාකරණයේ හසලතාව තුලින් කවියේ තාලානූකූල බව රැක ගනියි. ටික ටික ආදී වදන් තුල අනුප්‍රාසාත්මක කාව්‍ය ලක්ෂණ ගැබ් කරන කවියා අරුණු දද යනුවෙන් අරුණා ලෝකයේ කොඩි අරුත් ගන්වන්නේ රූපකාර්ථවත් භාෂාවකිනි. එහිදී හිමිදිරියක සෞන්දර්යාත්මක ස්වභාවය වර්ණනා කිරිම චමත්කාර ජනක වී ඇත.

" හේන්වල මුවන් වට පිට        බලද්දී 
  රාං කුරුල්ලන් තුති ගී            කියද්දී 
  පාන්දර හීන් හිරිකඩ           වැටෙද්දී 
  නේන්, හදුනන්ට බැහැ මල්  පිපෙද්දී "

හිමිදිරි උදයේ අරුණාලෝකය වැටෙන්නට ප්‍රථමව රාත්‍රිය පුරා තම හේන් රැකි හේන් ගොවියෝ නිවෙස් බලා ගමන් කරති. එම වේලාවට මුවන් හේන් වලට රිංගාගෙන ඔබ මොබ සරන්නේ බියෙන් වටපිට බලමිනි. යුගල පද භාවිත කරමින් මෙකී විස්තරය අපූර්වාකාරයෙන් තනි කවි පේලියකට ගොනු කරන්නට සමත් වන කවියා රාං කුරුල්ලන් හිමිදිරි උදයේ උදෑසනට තුති ගී ගයන ආකාරය සජීවීකරණය කරයි. හිරු අහසට නැගෙන්නට ප්‍රථම හිමිදිරි අඳුරත් සමග මල් පිපෙන ස්වයාමයේ සමනලයාගේ පැමිණීම උත්ප්‍රේක්ෂාලංකාරයට හසු කරගන්නා කවියා මල් අතර සමනලයා මලකැයි සිතන බැවින් නේන්, යනුවෙන් නොපැමිණෙන ලෙස ඉල්ලයි. සත්ත්ව වාදී පාරිසරික ලබැදි චින්තනය එතුලින් මතු කරන්නට කවියා සමත් වෙයි. 

" තම තුනු කැලුම් සිලිලෙන් නැහැවෙවී වරෙන් 
   මල් වාරමක ගතියෙන් නැළවෙවී        වරෙන් 
   කවුරුත් නුඹට ආදරයයි එදැන           වරෙන් 
   සමනොල පුෂ්පරාගය මා ළඟට          වරෙන් "

සමනලයාගේ ශරීර ශෝභාව අන් කෘමීන් මෙන් නොවන මනරම් වූවකි. බැවින් ආදරණීය ආමන්ත්‍රණයක් ලෙස කටවහරේ සමීපත්වය පෙන්නුම් කිරීමක් ලෙස "වරෙන්" යන්න භාවිත කරයි. සමනලයාගේ ලයාන්විත ගමන මල් වාරමක ස්වභාවයක් ලෙස දක්වන කවියා ළමා, වැඩිහිටි සියලු දෙනාගේ ආදරයට මෙම මනරම් සත්ත්වයා පාත්‍ර වන බව "කවුරුත් නුඹට ආදරෙයි" යනුවෙන් සරල බස් වහරකින් යුතුව දක්වාලයි. කාව්‍යයේ වින්දනාත්මක කාව්‍ය ලක්ෂණයක් ලෙස "සමනොල පුෂ්පරාගය" යනුවෙන් ප්‍රබල රූපකාර්ථ භාවිතයට යෙදෙන කවියා ආරම්භයේ මතු කරන හා සමානව කාව්‍ය අවසානයේදී ද "මා ළගට" යනුවෙන් උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයේ සමීපත්වය යොදා ගනියි. 

මාත්‍රා 18 ක සමුද්‍ර ඝෝෂ විරිත භාවිත කරමින් ළමා සිතුවිලි වල පාරිසරික වස්තු විෂයකින් ආමන්ත්‍රණය කරන කවියා යොවුන් වැඩිහිටි හැගීම් පවා වින්දනය කරන්නට පද්‍ය පන්තිය තුළින් සමත් වන අතර කොළඹ යුගයේ මුල් පරපුර නියෝජනය කරන කවියෙකු ලෙස ආනන්ද රාජකරුණා කවියාගේ සමනලයා පද්‍ය පන්තිය ප්‍රශංසනීයව රසවින්දනය කල හැක. 

- වි. ශෙරෝනි -
ශාන්ත අන්තෝනි බාලිකා මහා විද්‍යාලය 
මෝදර කොළඹ 15

------------------------------------

Comments