කුරක්කන් වගාවේ දී ගොවියා මුහුණ දුන් විවිද අභියෝග ජය ගැනීමට ඔහු දැරූ වෙහෙස කුරහන් කවි මඟින් ප්‍රකාශ වන අන්දම පැහැදිලි කරන්න.
අනාදිමත් කාලයක පටන් පැවත එන හේන් ගොවිතැන එකල සිරිලක ස්වයංපෝෂිත කිරීමට අනඟි සහායක් වීය. හේන් ගොවියා තම හේන තුල එදිනෙදා ප්‍රයෝජනයට අවශ්‍ය එළවළු, ධාන්‍ය හා පලතුරු වර්ග වගා කර ගත්තේය. කැකිරි, පුහුල්, කරවිල, මෑ, වට්ටක්කා ආදී එළවළු ද කොමඩු, පැපොල්, දොඩම්, පේර, අන්නාසි වැනි පලතුරු ද කුරක්කන්, මෙනේරි, තල, මුං, කව්පි ආදී ධාන්‍ය වර්ග ද හේන් ගොවියා මහ වැස්ස හෙවත් ඊසාන දිග මෝසම ආශීර්වාද කරගෙන හේන තුල වගා කලහ.
කැලෑ එළි කිරීමේ සිට අස්වනු නෙලීම දක්වා හේන් ගොවියා ඉමහත් දුෂ්කරතාවයන්ට මුහුණ දුන් අතර වෙහෙස මහන්සිය නිවා ගැනීමට පාළුව කාන්සිය මකා ගැනීමට නිරායාසයෙන් කල ගායනා විශේෂය ජන කවි ලෙස හැඳින්වෙයි. මෙලෙස හේන් තුළ කුරක්කන් වගා කල ගොවියා ගායනා කල කවි විශේෂය කුරහන් කවි ලෙස පැවත එන අතර ගොවියා මුහුණ දුන් විවිද අභියෝග පිළිබඳව ද ඒවා ජය ගැනීමට ගොවියා වෙහෙස වූ ආකාරය පිළිබඳව ද බොහොමයක් තොරතුරු මෙම කවි තුළින් හෙළිකර ගත හැකිය.
" දුරුතු මහේ දී කැලයට වැදීලා
මසක් පමණ කල් කැලවල් කොටලා
මැදින් දිනේ දී වල් ගිනි තබාලා
කුරහන් ඉසිමුව කළුවර බලාලා"
හේන් ගොවිතැන ආරම්භ කිරීමේ දී පළමුව කැලෑව සුද්ද කර ගත යුතුය. නැතිනම් පෙර වගා කොට වසර කිහිපයක් පුරන් වීමට හැරි ලදු කැලෑව සුද්ද කර ගත යුතුය. ජනවාරි මාසයේ භූමිය සුද්ද කරමින් වැඩ අරඹන ගොවියාට ගස් වැල් කපා ගොඩ ගසා ඒවා ගිනි තබා පස සකසා බීජ සිටවීම තෙක් බොහෝ බර වැඩ කිරීමට සිදු වෙයි. දුක් ගැහැට විදීමට සිදු වෙයි.
කැත්ත, පොරව, උදැල්ල වැනි සරල මෙවලම් පමණක් භාවිත කර සිදු කරන මේ ක්‍රියාව කිසිසේත් පහසු නොවූ අතර දෑතේ කරගැට සෑදී නිසි පරිදි කෑම ටික කෑමට පවා නොහැකි තරම් වීය. ගිනියම් අව්වේ සතුන්ගෙන් සර්පයින්ගෙන් පවා පීඩා විදිමින් අනේක දුක් විදීමට ගොවියාට සිදු විය. මෙහිදී මතු වන බොහෝ අභියෝග වලට විසඳුම ලෙස එදා ගොවියා සෑම ක්‍රියාවක්ම නියමිත කාලයකට සිදු කිරීමට චන්ද්‍රයාගේ ගමන මුල් කොට ගෙන පෝය ලැබීම ගෙවීම ආශ්‍රයෙන් දින වකවානු සකසා ගෙන භක්තියෙන් යුතුව සිදු කලහ.
"එල්ල වෙන්ට කවි කර කීවෙමි බොහොම
කොල්ල කන්ට එති සිවුපාවෝ බොහොම
ගොල්ල සමග එති ඌරෝ සැමදාම
නිල්ල අඹති සත් දවසින් බැලුවාම"
මෙම කවියෙන් කියන පරිදි, ඇසෙන කෙනෙකුට ඇසෙන්නට ගොවියා කවියෙන් තමාගේ අදහස් ප්‍රකාශ කලහ. එම හඬ ඇසෙන සතා සිව්පාවා බිය ගැන්වීම හෝ ආසන්නයේ ඇති පැලකින් පිළිතුරු කවියක් ලැබෙතැයි අපේක්ෂාවකින් තොරව කියන්නම්වාලේ කවි ගායනා කිරීම සිදු කලේ ගොවියාට ඇති අපමණ වෙහෙස මහන්සිය නිසාය.
අපමණ වූ දුක් විද කැලෑව එළි කොට බිම් සකසා බීජ වපුරා හෙම්බත් වූ ගොවියාට යම් අස්වැසිල්ලක් වනුයේ නිසි කලට මහ වැස්ස ලැබීමයි. වැසි සමය සමග හොදින් වැඩෙන වගාව දෙස බලමින් සැනසුම් සුසුමක් හෙලීමටවත් වරම් නොලැබෙන ගොවියාට මීලඟට ඇති ප්‍රබලතම අභියෝගය සතා සිවුපාවගෙන් තම ජීවිතය සම වගාව ආරක්ෂා කර ගැනීම යි.
හේනේ ඇති ශක්තිමත් ගසක් උඩ තනාගත් පැලක් මත දිවා රෑ නොබලා පැල් රැකීම පහසු කාර්යයක් නම් නොවීය. ඌරෝ, මුවෝ, ගවයෝ පමණක් නොව වන අලීයෝ පවා හේනට ඇස ගසා ගෙන සිටිති. ඉහත කවියේ ද කියන පරිදි සතුන්ට ඇසෙන පරිදි මහ හඩින් තාලයට කෑ ගසමින් ඔවුන් පලවාහැරීමට ගොවියා ඉමහත් වෙහෙසක් දරයි.
"මා කී දේ දෙයියනි බොරුවක්ම නැති
බිම එළි වුණොත් කණු මදු බොහොම ළග ඇති
ඇහැට වෙහෙස ඇත තුන් යමට නිදි නැති
ගොබ කළු වෙමින් කුරහන් කිරි වැද වැඩෙති"
මෙහිදී ද තමන් හේන සැකසීමට විදි දුක් පිළිබඳව පවසන ගොවියා දෙවියන්ට කියනුයේ හේන සැකසීමට තමා කැපූ ගස් ප්‍රමාණය පොලොවේ ලඟ ලඟ ඉතිරිව ඇති මුල් වලින් දැක ගත හැකි බවය. එසේම පැල් රැකීමෙහි ඇති දුෂ්කරත්වය කොතරම්ද යත් ඇස රිදෙන තරම් නිදිමත වූවත් නිදි නැතිව මුළු රාත්‍රිය පුරා සතුන්ගෙන් හේන ආරක්ෂා කිරීමට ගොවියා වෙහෙසෙන්නේ හේන තමාගේ ජීවිතය හා සම නිසා ය.
ඉහත උදාහරණ සහිතව පැහැදිලි කල ලෙස කුරහන් වගාවේදී ගොවියා මුහුණ පෑ අභියෝග කුරහන් කවි මගින් ප්‍රකාශ කර ඇති බව පැවසිය හැකිය. තවද හේන් ගොවියා විදින අපමණ දුක් මුහුණ දෙන අභියෝග පිළිබඳව සරලව සංක්ෂිප්තව මෙලෙස කවි කිහිපයකින් කියා පෑමට සමත් වූ ගොවියාගේ කවීත්වය අගය කල යුතුමය.
- Admin -
කුරහන් ඉසිමුව කළුවර බලාලා
කුරහන් ඉසිමුව කළුවර බලාලා විචාර
කුරහන් ඉසිමුව කළුවර බලාලා pdf
කුරහන් ඉසිමුව කළුවර බලාලා කවි
kurahan isimuva kaluvara balala vicharaya
10 ශ්‍රේණිය සිංහල සාහිත්‍ය විචාර
11 ශ්‍රේණිය සිංහල සාහිත්‍ය විචාර