Skip to main content

උග්ගසේන සිටුපුත්හුගේ වස්තුව විචාරය 03

සද්ධර්මරත්නාවලී කතුවරයාගේ කථා කලාවේ විශේෂතා උග්ගසේන නම් සිටුපුත්හුගේ වස්තුව ඇසුරින් පැහැදිලි කරන්න. 

සද්ධර්මරත්නාවලිය දඹදෙණි යුගයේ "ධර්මසේන" නැමති යතිවරයාණන් විසින් රචිතය. "සඳහම් ඇමිණූ වැල" යන අර්ථාන්විත "සද්ධර්මරත්නාවලිය" යන නම මේ ග්‍රන්ථයට යෙදී තිබේ. පාලි ධම්මපදට්ඨ කථාව ඇසුරින් ලියා ඇති ජනප්‍රිය බණකථා සංග්‍රහයක් වන මෙහි දෙසිය පනස් හය වන කථා වස්තුව වන්නේ "උග්ගසේන සිටුපුත්හුගේ කථා වස්තුවයි". 

ගැමි ව්‍යවහාරෝචිත උපමා, රූපක, ප්‍රස්තාව පිරුළු, ගැමිවැකි, උපහැරණ ආදී සෑම දෙයක්ම උපයුක්ත කර ගනිමින් රචනා කර ඇති සද්ධර්මරත්නාවලිය පද සාරයෙන් මෙන්ම අර්ථ සාරයෙන් පෝෂිත වූවක් සේ සැලකිය හැකිය. කථා පුවතෙහි ගැබ් වූ මූලික ධර්මය ඉතා සරල ලෙසින් සිත් ගන්නා ලෙසින් ප්‍රකට කර ඇත්තා සේය. ධර්මසේන හිමියන්ගේ කථා කලාවෙහි එක් සුවිශේෂී ලක්ෂණයක් වන්නේද මෙයයි. 

"තවද උගනිතත් නිරවද්‍ය ශිල්පයක් මුත් සාවද්‍ය ශිල්පයෙන් ඓහලෞකික ප්‍රයෝජනයක් මුත්, පාරලෞකික ප්‍රයෝජනයක් නැති නියාව හඟවන්නට උග්ගසේන නම් සිටු පුත්හුගේ වත කියමු."

පූර්වෝක්ත පාඨය මගින් ශ්‍රාවකයාට හෝ පාඨකයාට දියයුතු අගනා උපදේශය නැතහොත් මූලික දහම් පණිවුඩය සරලව සංක්ෂිප්ත ලෙස දක්වා ඇති ආකාරය ප්‍රකට කෙරේ. කථා පුවත ආරම්භයේදී මෙන්ම අවසානයේදී ද ලබා දෙන උපදේශය අතිශයින්ම වැදගත්ය, ප්‍රබලය. බණකතා රීතියට අනුකූලව ලබා දෙන ධර්මෝපදේශයන් මෙහි ගැබ් වෙයි. "මේ සිත තබා අනුන් හෙළා පිරිහෙළා කීමෙන් දුරු විය යුතු" කථා වස්තුවට හා ප්‍රධාන චරිතයට අදාළ වන අයුරින් අන්‍යයන්ට හෙළා පිරිහෙළා කීමෙන් දුරු වීමට ඇවැසි බව කතු හිමියන් පෙන්වා දෙයි. 

ධර්මදේශනා ශෛලිය ඔස්සේ කථා පුවතට අවතීර්ණ වන කතු හිමියෝ ඒ ඒ චරිතයන්ගේ හැඩහුරුකම් හා සැබෑ මුහුණුවර කියවන්නාගේත් අසන්නාගේත් සිතට මැනවින් ප්‍රකට වන සේ එකී චරිතයන් වර්ණනාවට ලක් කරයි. මේ සඳහා දිගු වැකි යොදාගත් අවස්ථාවක් පහත පරිදි වේ.

"නටන විද්දතු පන්සියයෙක් හවුරුද්දෙන් ස මසින් රජගහ නුවරට අවුදින් රජ්ජුරුවන්ට සතියක් මුළුල්ලේ.."

තවද කෙටි වැකි යොදාගෙන සංක්‍ෂිප්ත ආකාරයෙන් කථාව ඉදිරියට ගලා යෑමට සැලැස්‌වීම ද ධර්මසේන හිමියන්ගේ කථා කලාවේ විශේෂත්වයකි. විද්දත් දියණියගේ මුවට නංවන භාෂණය කෙටි වූවත් එය කෙතරම් ප්‍රබල වූවක් දැයි අපට මෙහිදී ගම්‍යමාන වේ. අවස්ථාවට උචිත ආකාරයෙන් බස හසුරුවා කරුණු පිඬු කොට දැක්වීමට කතු හිමියන් සමත් වූ ආකාරය ප්‍රශස්තය. යථෝක්ත උපුටනය ඊට සාක්ෂ්‍ය දරයි.

"ගැල් රකිනවුගේ පුත, බර උසුලන්නවුගේ පුත, කුමකුත් නොදන්නවුගේ පුත කිය කියා නළවයි."

චිත්තරූප ජනනය වන ආකාරයෙන් බස හසුරුවන ධර්මසේන හිමියෝ පාඨක ශ්‍රාවක දෙපිරිසේම අවධානය ලබාගත හැකි ආකාරයේ උපක්‍රම සිය කතාකරණයට යොදාගනී. සංවාදාත්මක බසින් කථාව සජීවීකරණ කර සහෘදයා හමුවට ගෙන එන ආකාරය ද විමසා බැලිය යුතුය.

මේ ආකාරයෙන් විමසා බැලූ විට නන්විධ භාෂා උපක්‍රම යොදා ගනිමින් කළ ධර්මසේන හිමියන්ගේ සද්ධර්මරත්නාවලිය සහෘදයාගේ ශ්‍රද්ධාව වැඩි දියුණු වන ලෙසින් අර්ථ සාරයෙන් අනූනව රචනා වී ඇති බව විශද වේ. තවද උග්ගසේන සිටු පුත්හුගේ කථා වස්තුව ඇතුළු සමස්ත සද්ධර්මරත්නාවලියේ ම සාර්ථකත්වයට කතු හිමියන්ගේ කථා කලාවේ විශේෂතා ද බෙහෙවින් ඉවහල් වී ඇති බව ද කිව මනාය.

දිනූෂා ගමගේ