පෙමතො ජායතී සොකෝ නාට්‍යයේ එදිරිවීර සරච්චන්ද්‍රයන් පෙන්නුම් කරන්නා වූ කාව්‍යමය භාෂා භාවිතය පිළිබඳව විචාරයක යෙදෙන්න.
කවිය හා මිනිසා අතර ඇති සම්බන්ධය ඉතාමත් ඈත අතීතයකට දිව යයි. අද මෙන් ජන මාධ්‍ය, සමාජ මාධ්‍ය නොදියුණුව පැවති අතීත යුගයන්හී දී කවියට හිමි වූයේ සුවිශේෂී ස්ථානයකි. මානවයාගේ හදවතට කතා කිරීමේ හැකියාව කවිය තුල පවතී.
නාට්‍යය කරුවෙකු ලෙස ඉමහත් ගෞරවයට පත් එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යය නිර්මාණ අධ්‍යයනයේ දී ඔහු තුල ඇති කාව්‍ය කරණයේ සක්ෂ්යතාව මනාව පැහැදිලි වේ. ස්වකීය අධ්‍යයනයන් සිදු කරමින් නාට්‍ය කරණයෙහි නිරත වූ එදිරිවීර සරච්චන්ද්‍ර මහතා කාව්‍යමය නාටකයක් නිර්මාණය කිරීමට අදහස් කල අතර එසේ නිර්මාණය වූ පෙමතො ජායතී සොකෝ නාටකය එදා සිට අද දක්වාම ජනතා ප්‍රසාදය දිනා සිටිනුයේ එහි වූ කාව්‍ය රසය ජනහද ස්පර්ශ කල නිසා විය යුතුය.
ස්වර්ණතිලකා කතා වස්තුව මූලාශ්‍ර කොට ගනිමින් එදිරිවීර සරච්චන්ද්‍රයන් නිර්මාණය කරන ලද පෙමතො ජායතී සොකෝ නාට්‍ය තුල දැකිය හැකි කාව්‍යමය භාෂා භාවිතය එම නාට්‍යයෙහි සාර්ථකත්වයට හේතු වී ඇති ආකාරය මෙසේ විමසා බලමු.
ගොදුරු වී තම සිතැඟි පාසෙහි
සැරිසරන තෙක් සසර සයුරෙහි -
පැමිණෙනා තෙක් වැසන ගොර දුක්
මරණ පහුරෙහි නැගී නෙකවර -
භවයකින් තව භවයකට වත්
නිවන් වෙරළෙහි ගොඩ බසින තෙක් -
වැගිරෙනා නෙත් කඳුලු දහරා"
සූත්‍රධාර චරිතය තුළින් ආරම්භයේ දී පිට කරන මෙම කාව්‍යයන් සරච්චන්ද්‍රයන් යොදාගෙන ඇති කාව්‍යමය භාෂාව විවරණයට ඉතා උචිතය. මෙහිදී ඉදිරිපත් කරනුයේ සංසාර සාගරය තුල මිනිසුන් ඉපදෙන මියයන ආකාරය කියැවෙන බණ පදයක් වූවද එය බණ කතාවක් සේ වචනාර්ථයෙන් ඉදිරිපත් නොකර ව්‍යාංගාර්ථවත් බසකින් කවියට නගා තිබෙයි. ව්‍යාංගාර්ථවත් පද භාවිතය කාව්‍යමය භාෂාවේ ඇගයිය යුතු ලක්ෂණයකි.
තවදුරටත් මෙහිදී බහුල ලෙස රූපක භාවිතය කාව්‍ය රසවත් වීමට සරච්චන්ද්‍රයන් භාවිත කල භාෂාව තුල දැක ගත හැකිය. එහිදී සසර සයුරටත්, මරණය පහුරටත්, නිවන වෙරළටත් සම කරමින් නිර්මාණය කර ඇති රූපක කාව්‍යයේ රස වර්ධනය සඳහා හේතු වී ඇත. සසරින් සසරට අප ගෙන යනු ලබන මරණය පහුරට සමකල පසුව සසරින් සසර අප යන ගමනේ අවසානය වන නිවන වෙරළට සම කිරීම ඉතා උචිත බව හැගෙයි. මන්දයත් පහුරක ගමන් කල හැකි දීර්ඝතම ගමනක කෙළවර වනුයේ වෙරළක් වන බැවිනි. මෙවන් ඖචිත්‍ය ගුණයෙන් යුක්ත වූ රූපකයන්ගෙන් යුත් භාෂාව පෙමතො ජායතී සොකෝ නාට්‍යයේ කාව්‍යමය ගුණය ඉහළ නැංවීමට හේතු වී ඇති බව කිව යුතුය.
තිබේ දැවෙමින් භවේ ආසා
රූ සඳ ගඳ ඈ විෂය පවනින්-
මෙලෙවි මෙලෙවි බුරා නැග එයි"
ගැඹුරු වූ දහම් කරුණු ඉතා සංයමයෙන් යුතුව කවිය තුල ගැබ් කර ඇති අකාරය මෙම නාටකයේ කාව්‍යමය භාෂාවේ අපූර්වත්වය වේ. සූත්‍රධාර හා ගායකයන් විසින් නාට්‍යය ආරම්භයේ දී මෙම කවිය ගායනා කරනුයේ නාට්‍යයේ අන්තර්ගතය පිළිබඳව යම් ඉඟියක් පළ කරමිනි. අළු යට සැගව ඇති ගිනි පුපුරු සුළඟට ඇවිස්සී ගිනි ගන්නා ආකාරයට මිනිස් සිත තුල සැගවී ඇති ගුප්ත කාම අශාවන් රූප, ශබ්ද හා ගන්ධ හේතුවෙන් ඇවිස්සී ඉස්මතු වන බව කාව්‍යමය ගුණයෙන් යුතුව මෙහිදී ඉදිරිපත් කර තිබෙයි. මෙහිදී මිනිස් සිත තුල වූ ගුප්ත කාම ආශාවන් අළු යට සැගවුන ගිනි පුපුරු වලට ද, එම ගිනි දල්වන සුළඟ රූප, ශබ්ද, ගන්ධ ආදියටද උපමා කිරීම මෙහි කාව්‍යමය රසය ඔප් නැංවීමට ඉවහල් වී ඇත.
යෞවනයේ සුවද මල් ද-
සරසවියෙන් පුදසුන මත-
ලත් දැනුම කිම් ද ඒ -
මෙය උද්දාල බමුණා තමා තුළ උපන් ප්‍රේමය ස්වර්ණතිලකා හට ප්‍රකාශ කරන අවස්ථාවේ කියැවුන කවියකි. ශිල්ප ශාස්ත්‍ර කෙරෙහි දැඩිව ඇලී ගැලී සිටීම නිසාවෙන් උද්දාල හට තම ජීවිතයේ තරුණ කාලයේ විදීමට තිබූ මිහිර නිසි ලෙස විදීමට නොහැකි වූ බව මෙතුළින් කියා පායි. උද්දාල බමුණා ස්වර්ණතිලකාව මුණ ගැසීම නිසා ඇති වූ චිත්තත් ප්‍රීතිය නිසා තමා පෙර ගෙවූ ජීවිතය පිළිබඳව පසු තැවෙන ස්වරූපය සරච්චන්ද්‍රයන් කාව්‍යමය භාෂාවකින් අපට ඉදිරිපත් කරයි. සරසවියේ පුදසුන මත මැලවෙන මිහිරි ඵල හා සුවද මල් නිසැකවම චිත්ත රූපයට මැවෙයි. ඒ මැවෙනා චිත්ත රූපය තුල ඇති සංකේතාර්ථය උද්දාල බමුණාගේ සිතේ ස්වභාවය කදිමෙට මෙනෙහි කරයි.
චිත්ත රූප මවනා කාව්‍යමය භාෂාව රසික සිත් ඇද බැද තබයි. සංකේතාර්ථවත් කාව්‍යමය භාෂාව උද්දාලගේ සිත ගැඹුරු ලෙස විවරණය කරයි.
නිට්ටාවකුත් නොමැති- විසදන්ට නොවන පැන
පිළිතුරක් නොමැති පැන
කල්පනා ගංඟාවෙ- පා වෙමින් යන ඔරුව
ගොඩ බිමක් නොම සොයන- ගොඩ බිමෙන් යන ඈත
පරතෙරක් නොපතාම "
ප්‍රේමයෙන් බැදුනා වූ උද්දාල බමුණා හා ස්වර්ණතිලකාගේ ප්‍රේමයේ ස්වභාවය මෙහිදී කියා පායි. ඒ සඳහා සරච්චන්ද්‍රයන් භාවිත කර ඇති කාව්‍යමය භාෂාව ඉතා සරලය. ඉතා බොලද, සරල ප්‍රථම ප්‍රේමයක අද්දැකීම විස්තර කිරීමට එම කාව්‍යමය භාෂාවේ සරල බව බෙහෙවින් උපකාර වී ඇත. මෙහිදී "කල්පනා ගංඟාවෙ- පා වෙමින් යන ඔරුව" යනු ඔවුන් දෙදෙනා ප්‍රේමයෙන් මංමුලාව ඇති ආකාරය පැහැදිලි කරන කදිම සංකේතය කි. රූපකයකි. සරච්චන්ද්‍රයන්ගේ කාව්‍යමය භාෂාවේ සුවිශේෂීත්වය නම් අවස්ථානුකූලව සරල බසක් භාවිතා කරන අතර තුර ඒ සරල භාෂාවෙන්ම ප්‍රබල සංකේත මැවීමයි. තරුණ යුවලකගේ සිතෙහි ඇති සැනසිල්ල, නිස්කලංක බව කියා පෑමට ඒ සරල කාව්‍යමය භාෂාව හේතු විය.
නාට්‍යයකරුවෙකු ලෙස ප්‍රසිද්ධ වූවද සරච්චන්ද්‍රයන් තුල වූ කාව්‍යමය හැකියාව පෙමතෝ ජායතී සොකෝ නාට්‍ය පුරාවටම මෙලෙසින් දැක ගත හැකිය. ඖචිත්‍ය වූ උපමා උපමේය භාවිතය, ප්‍රබල සංකේත භාවිතය, රූපක භාවිතය, චිත්ත රූප මැවීම, මෙන්ම අවස්ථානුකූලව සරල බසද යොදා ගැනීම පෙමතො ජායතී සොකෝ නාට්‍යයේ කාව්‍යමය භාෂාව විවරණයේ දී මෙලෙසින් පැසසිමට ලක්කල හැකිය.
Comments