Skip to main content

අලුත ගෙනා මනාලිය රසාස්වාදය

අසුලභ වස්තූ විෂයක් තුළ නුහුරු හැඟුම් සමූදයක් කැටිකොට ජී. බී සේනානායකයන් සටහන් කල ඒ සොඳුරු වදන් පෙල "අලුත ගෙනා මනාලිය" මෙසේ රසවින්දනය කරමු.



නිසඳැස් කාව්‍ය සම්ප්‍රදායේ සමාරම්භකයා වූ ජී. බී සේනානායක මහතා විසින් රචිත "පලි ගැනීම" කෙටිකතා සංග්‍රහයේ හමුවන නිශ්ශබ්දතාව නම් නිසඳැස් කාව්‍ය තුළින් මෙරට නිසඳැස් කාව්‍ය සම්ප්‍රදාය ආරම්භ විය. ජී. බී සේනානායකයන් විසින් රචිත වෙනස්ම වූ ආකාරයක, ආකෘතියක කාව්‍ය නිර්මාණයක් ලෙස අලුත ගෙනා මනාලිය හැදින්විය හැකිය. අලුත විවාහ වූ මනාලයෙකුගේ සිත තුල තම මනාලිය පිළිබඳව ජනිත වන අව්‍යාජ හැගීම් සමූදායක් මෙම නිර්මාණයට ප්‍රස්තූත වූ බව පැහැදිලි වේ.

කාව්‍ය නිර්මාණය ආරම්භයේ දී ම තම මනාලියගේ ස්වරූපය, විශේෂයෙන්ම භාහිර ස්වරූපය විස්තර කරන නිසඳැස් කවියා මනාලිය පිළිබඳව පාඨක මනසේ චිත්ත රූපයක් මවයි.

"හිස නමා ගති ඈ
 සිහින් රතැඟිලි පටලවා ගති
 සතියකට පෙර ගෙනා වර
 විළිබරය මගෙ රන්වන් මනාලිය"

උක්ත මනාලිය කැන්දාගෙන විත් තවම හරියට සතියක් පමණි. අලුත ගෙනා මනාලියක් ලැජ්ජාශීලීව හැසිරෙන ආකාරය ජී. බී සේනානායක කවියා අපූරුවට විස්තර කර තිබෙයි. ඇය මනාලයා ඉදිරියේ පිය නගනුයේ හිස පාත් කරගෙනය. හිස ඔසවා මනාලයාගේ මූන බැලීමට තරම් වත් ශක්තියක් ඇයට නොමැති වූයේ ඇගේ ලැජ්ජාශීලී බාවය නිසාමය. 

සිහින් රතැඟිලි එකිනෙක පටලාගෙන සිටින්නේද ඒ ලැජ්ජාව නිසාමය. කවියා ලැජ්ජාශීලී බව ප්‍රකාශ කරන වචනය "විළිබරය" යන්නයි. වැඩි වශයෙන් භාවිත නොවන එම වචනය නිසඳැස් කවියට අනන්‍යතාවක් ගෙන දෙන බව හැගෙයි. ධ්වනිතාර්ථවත් වචන තුළින් ව්‍යාංගාර්ථව මනාලියගේ රූප ස්වභාව කියා පෑමට කවියා "සිහින් රතැඟිලි" යන වචනය භාවිත කොට තිබීම සුවිශේෂී වේ. සිහින් යන්නෙන් මනාලියගේ ශරීර හැඩයත් "රත්පැහැ ඇඟිලි" සහ "රන්වන්" යන්න මගින් මනාලියගේ පැහැපත් බවත් කවියා සගවා පවසනුයේ සියුම් ආඩම්බරයකින් යුතුව යැයි සිතිය හැකිය.

කවියා තවමත් ඇයට මනාලිය ලෙස ආමන්ත්‍රණය කිරීම තුළ ප්‍රකාශ වනුයේ කවියාගේ සිතේ ඇති නැවුම් සිතුවිලිය. කවියාට තවමත් ඇයව බිරිදක ලෙස නොහැගෙයි. දෙදෙනාම මුනිවත රකිමින් මේ නැවුම් හැගීම් සරවිදියි. 

"දැල් තිර අස්සෙන්
 පෙනෙයි ඈ
 ඔබ යනු, මොබ එනු
 පට පිළි ගෙන, අබරණ පෙට්ටි ගෙන"

කවියා තම රූමත් මනාලියගේ සුන්දරත්වය දැල් තිර අස්සෙන් බලා සිටී. සෘජුවම ඈ දෙස බලනවාට වඩා අමුතු රසයක්, කුතුහලයක් දැල් තිර අස්සෙන් බලා සිටීම තුල ගම්‍ය කෙරෙයි. තවද කවියාත් තම රූමත් මනාලිය දෙස කෙලින් බැලීමට ලැජ්ජාවන බවක් ද මෙහිදී හැගවෙයි. තවද "ඔබ යනු, මොබ එනු" යන අනුප්‍රාසාත්මක වචන තුළින් සිතෙහි ඇති වේගය, හද ගැස්ම පිළිඹිබු කරයි. දෙදෙනාට දෙදෙනා ගැන ඇති නොඉවසිලි ගතිය ඉස්මතු කරයි. 

මනාලිය තවමත් සිටිනුයේ තම මංගල වස්ත්‍රාභරණ ලෝකය තුලය. ඒවා රැගෙන ඔබ, මොබ ගමන් කරමින් තම මනාලයාට නිතර නිතර දිස්වීමට උත්සුක වීම තුල ඇගේ සිතේ මනාලයා කෙරෙහි ලියලන ප්‍රේමය නිරූපණය කෙරෙයි.

"ඇසෙයි නොපෙනෙන විටත්
 සාලයෙන් කාමරයට
 කාමරයෙන් සාලයට
 යන පා හඩ"

මනාලිය අලුත් නිවසේ තවමත් සීමිත ඉඩක පමණක් ආගන්තුක අයුරින් සැරිසරයි. සාලයෙන් කාමරයට, කාමරයෙන් සාලයට නිතර නිතර ගමන් ගනිමින් ආගන්තුක ලෙස තමාගේ අලුත් නිවස තුළ ඉඩකඩ සොයයි. මනාලයාට ඇයව නොපෙනෙයි. නමුත් කවියා මනාලියව නොපෙනෙන විට දී පවා ඇයව සියුම්ව නිරීක්ෂණය කරයි. මනාලිය සාලයෙන් කාමරයට, කාමරයෙන් සාලයට යන හඬ පවා මනාලයාට ඇසෙනුයේ මනාලයාගේ සිත සෑම විටම මනාලිය සොයන නිසාවෙනි. මනාලයාගේ ලෝකය, මනාලයාගේ කුතුහලය මනාලිය වූ නිසාවෙනි. 

"එතැන් ඈ මා වෙත
 උවමනාවක් කිසිත් නැතිවද
 නො රැදෙයි, පලා යෙයි"

මනාලිය මනාලයා ඉදිරියට පැමිණෙයි. නමුත් ක්ෂනිකව ආපසු පලා යයි. අවශ්‍යතාවක් තිබුනද මනාලයා සමග කතාබහ නොකරයි. ඒකාත්මික වීමක් නොවෙයි. මනාලයාගේ හිත විමසන්නේ ඔහු කෙරෙයි ප්‍රේමයක් ඇති නොවන්නේද යනුවෙනි. තමා ගැන ආශාවක් ඇති වන්නේ නැති ද යනු වෙනි. මෙහි දී අපට පැහැදිලි වන තවත් කරුණක් නම් මේ සිදු වී ඇති විවාහය යෝජිත විවාහයක් බවයි. එම නිසයි මේ දෙදෙනා මෙතරම් ලැජ්ජාශීලී වූයේ. නුහුරු ප්‍රේමයක් වෙනුවෙන් බලා සිටිනුයේ ඒ නිසයි.

"ගෑ විලවුනෙහි 
 නැත, රන්වන් සමෙහි,
 හෙළන සුස්මෙහි සුවඳය ඒ,
 ඈ බඳ සුවඳ 
 දැනෙන්නේ මට විතරද?"

ප්‍රේමය තුල ඇතිවන මමත්වය මගේය යන හැඟීම කවියාට මනාලිය කෙරෙහි දැනෙන්නට ගනී. ඇගේ ගැල්වූ සුවද විලවුන් සුවඳ සැමට දැනුනද ඇගේ ශරීරයේ සුවද, හුස්මෙහි සුවඳ දැනෙනුයේ ඇයව හිමිකරගත් මනාලයාට පමණි. කවියා මේ සිතුවිලි ගෙනහැර පානා ආකාරය අපූර්ව නොවේද?

"පෙනෙයි ඈ,
 ඇසෙයි,
 දැනෙයි 
 මට ගෙය හැම තැන."

මුලදී සාලයෙන් කාමරයට, කාමරයෙන් සාලයට පමණක් ගමන් කරමින් නුපුරුදු ලෙස සිටි ඇය දැන් නිවස පුරා දැනෙන්නට පටන් ගෙනය. ආගන්තුක ඇය දැන් ක්‍රමයෙන් බිරිඳකගේ ස්වරූපයට අනුවර්තනය වී ඇත. පෙනෙයි, ඇසෙයි, දැනෙයි. මනාලයාට දැන් තමාගේ බිරිඳ නිතරම දකින්න පුළුවනි. ඇගේ හඬ නිතර අසන්නට පුළුවනි. ඇගේ ස්පර්ශය ලබන්නට පුළුවනි. මනාලියගේ භූමිකාවේ සිට බිරිදකගේ භූමිකාවට ඇය ක්‍රමයෙන් විතැන් වූ ආකාරය අපට මෙසේ කවියා ගෙනහැර පෙන්වයි.

උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය යොදාගනිමින් මනාලයාගේ චරිතයට පන පොවන ජී. බී සේනානායක මහතා, ධ්වනිතාර්ථවත් පද යොදා ගනිමින්, අනුප්‍රාසාත්මක පද යොදමින් අලුත ගෙනා මනාලිය පිළිබඳව නිසඳැස් ආකෘතියෙන් සංක්‍ෂිප්තව කල එම හැගීම් දිග හැරුම අනර්ඝ බව කිව යුතුය.



Key words 
අලුත ගෙනා මනාලිය 
අලුත ගෙනා මනාලිය විචාර 
අලුත ගෙනා මනමාලි රසාස්වාදය 
අලුත ගෙනා මනාලිය විචාර pdf
Alutha gena manaliya vichara pdf download
 




Comments