සද්ධර්මරත්නාවලිය විචාරය 07
ගැමි ජීවන අද්දැකීම් විෂය කොට උපමා රූපකාදියෙන් රස ගන්වා කතා කීම ධර්මසේන හිමියන්ට ආවේණික වූ ගුණාංගයකි. සද්ධර්මරත්නාවලිය ඇසුරින් විමසන්න.
ධර්මසේන හිමියන් විසින්ම සඳහන් කොට ඇති පරිද්දෙන් කුසල බලයෙන් පිරිපුන් පින්වත් ශ්‍රාවකයන්ගේ ධර්මාවබෝධය පිණිසම සද්ධර්මරත්නාවලිය ලියවූ බව පැහැදිලිය. මෙකී ශ්‍රාවකයන් බොහොමයක් නිසි අධ්‍යාපනයක් නොලද නූගත් ගැමියන් විය. නමුත් ධර්මාවබෝධය ලැබීමට තරම් සසර පෙර කුසල් ඕනෑතරම් වැඩූවන් බව ධර්මසේන හිමියන්ගේ පාඨයන්ගෙන්ම නිරූපණය වෙයි.
"තවද නුවන මද වත් කුසලච්ඡන්දය ඇති වී ධර්මාවබෝධයට උපදෙස් ලදින් ..."
මෙලෙස පැහැදිලි වන පරිද්දෙන්ම ධර්මසේන හිමියන්ගේ අභිප්‍රාය නම් නූගත් ගැමියාගේ මනසට ගෝචර වූ භාෂා ශෛලියකින් තම බණ කතා ඉදිරිපත් කොට ගැමියා ධර්මාවබෝධයට පැමිණ වීම විය. මෙකී අභිප්‍රාය සාර්ථකව ජය ගැනීම සඳහාම ධර්මසේන හිමියන් ගැමියාගේ ජීවිත අද්දැකීම් බද්ධකර ගත් උපමා රූපකාදියෙන් රසාලිප්ත කර ගත්තා වූ භාෂා ශෛලියක් ඔස්සේ සද්ධර්මරත්නාවලිය නම් ධර්ම ග්‍රන්ථය රචනා කර ඇති බව පැහැදිලි වේ. මේ පිළිබඳව තව දුරටත් පැහැදිලි කර ගැනීම සඳහා සද්ධර්මරත්නාවලිය තුල අපට හමුවන අගනා කතා වස්තූන් දෙකක් වන මට්ටකුණ්ඩලී කතා වස්තුව සහ කුණ්ඩලකේෂි කතා වස්තුව ඇසුරෙන් විමසුමට ලක් කරමු.
ගැමි ජීවිතය හා බැදි උපමා රූපක රාශියක් මට්ටකුණ්ඩලී කතා වස්තුව තුල අපට දැක ගත හැකිය.
"" නුග ගස මහත් වත් නුග ඵලය කුඩා වන්නා සේ"
තමා ජීවත් වන පරිසරය තුල නිතර හමු වන නුග ගස ගැමියාට ඉතා හුරු පුරුදුය. ව්‍යවහාරික ජීවිතයේදී ගැමියාට ඉතා සමීප නුග ගස ඇසුරු කර ගනිමින් ගොඩ නගාගත් උපමාව ගැමියාට පහසුවෙන්ම අවබෝධය ගෙන දෙයි. ධර්මසේන හිමියන්ගේ භාෂා භාවිතයේ රහස නම් මෙයයි.
ධර්මසේන හිමියන් තමන්ගේ භාෂා ඥානය, හැකියාව විදහා දක්වනවා වෙනුවට නූගත් ගැමියන්ගේ ජීවිතයට සමීප වචන මාලාවක් භාවිත කරමින් කලා වූ නිර්මාණයක් ලෙස සද්ධර්මරත්නාවලිය හැදින්වීම නිවැරදි බව මෙවැනි නිදසුන් මගින් පැහැදිලි වේ.
මෙලෙසින් මිනිස් ජීවිත ඇසුරින්ම සාදා ගත් උපමා රූපක භාවිතය ධර්මසේන හිමියන්ගේ ආවේණික ලක්ෂණයක් ලෙසද හදුනා ගත හැකි වේ.
සද්ධර්මරත්නාවලියේ එන කුණ්ඩලකේෂි කතා වස්තුව තුලද මෙවැනි වූ උපමා රූපක බොහෝ සෙයින් දැක ගත හැකිය.
"රූමත්ව උපන්නාට පාටෝපයට සිරගෙයක ලුවා සේ ලූහ"
ඉහතින් දැක්වෙන උද්ධෘතය ඒ සඳහා කදිම උදාහරණයකි. අද සමාජයේ පවා තමන්ගේ රූමත් දියණිවරුන් බොහෝ විට සිර ගෙයක සිර කර ඇති ආකාරයෙන් ආරක්ෂා කිරීමට දෙමාපියන්ට සිදුවෙයි. මෙවැනි වූ ඉතා සාමාන්‍ය වූ, ජනයාට වඩා පහසුවෙන් තේරුම් යන ඔවුන් හොද හැටි දන්නා දේ උපමා කොට ගැනීම තුල ධම්සෙන් හිමියෝ බොහෝ සේ සමත් වූහ.
මට්ටකුණ්ඩලී කතා වස්තුවෙහි අදින්නපුබ්බක සිටුතුමාගේ මසුරු බව විස්තර කරන ධර්මසේන හිමියන් මෙසේ සදහන් කරයි,
"හීදඩු මිටියකින් හී දණ්ඩක් හයා ගත් කලට අඩුව පෙනෙන්නා සේ"
"වහා ලූ කඩ රෙද්දට ලෝබයෙන් හඩන්නා සේ"
"වී අවදියේ නොලැබ්බ හැකි වීයට හඩන්නා සේ"
පුද්ගල චෛතසික නිරූපණය කිරීම සඳහා ධර්මසේන හිමියන් මේ ලෙස ගැමි ජීවන අද්දැකීම් සමීප කර ගත් උපමා හා රූපක භාවිත කිරීම ධර්මසේන හිමියන්ටම ආවේණික වූවක් විය. තම බණ කතා ශ්‍රවණය කරන ශ්‍රාවක හුදී ජනයාට පහසුවෙන් ධර්මාවබෝධය ඇති කිරීමට මෙවැනි වූ උපමා රූපක හේතු වූවා විය.
තවත් අවස්ථාවක කුණ්ඩලකේෂි කතා වස්තුවේ දී පරිච්ඡේද ගණනාවකින් පවා කියා නිම කල නොහැකි කරුණු කරණා ගණනාවක් උපමා රූපක මාලාවක් භාවිතයෙන් ඉතා කෙටි ලෙස කැටි කොට දැක්වීමට ධර්මසේන හිමියන් සමත් වූයේ මෙලෙසිනි.
"එහෙයින් නුවණැත්තෝ විසින් ලැදි සටන් ආදී වූ සෙසු සටන් හැර විවසුන් නැමති අතින් මාර්ගඥාන නැමැති කඩු ගෙන කෙලෙස් සතුරන් හා සටනට ම නියැළි.."
බණ දහම් අසා ධර්මය අනුව හැසිරෙන පුද්ගලයෙක් නිර්වාණය සඳහා ගමන් ගන්නා ගමන් මාර්ගය පිළිබඳව ඉතා පහසුවෙන් පැහැදිලි වන ලෙස ඉදිරිපත් කිරීමට ධර්මසේන හිමියන් සමත් වී ඇත්තේ ඒ සඳහා යොදාගත් රූපකාර්ථ නිසාවෙනි.
ධර්මසේන හිමියන් සද්ධර්මරත්නාවලිය තුල යොදා ගත් මාල උපමා හෙවත් එකින් එක සම්බන්ධ උපමා දාම නිර්මාණය වී ඇත්තේ ද ගැමි ජීවන අද්දැකීම් හා සම්බන්ධ කර ගෙනමය. නිදසුන් ලෙස,
"අලතාපිඩක ඇති වූ පබළුදම් වැනි වූ හෝ නොහොත් ලාරසෙහි ගලා ඔසොවා ගත් කොබෝනීල මල්දමක් වැනි වූ තමන් වහන්සේගේ හඳනා සිවුර.."
මෙලෙසින් ගැමියාගේ ජීවන අද්දැකීම් පාදක කරගත් උපමා රූපක භාවිතය නිසාම ධර්මසේන හිමියන් සද්ධර්මරත්නාවලිය රචනයේදී අති සාර්ථක වී ඇති අතර, ගැමි ජීවන අද්දැකීම් විෂය කොට උපමා රූපකාදියෙන් රස ගන්වා කතා කීම ධර්මසේන හිමියන්ට ආවේණික වූ ගුණාංගයක් බව අපට පැහැදිලි කර ගත හැකිය.
ධර්මසේන හිමියන්ගේ භාෂා භාවිතය
උපමා රූපක අලංකාර භාවිතය
ගැමි ජීවන අද්දැකීම්
Comments