Skip to main content

නායයෑම් ගැන රචනාව

නාය යෑම් වලින් ආරක්ෂා වෙමු

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ දැඩි වර්ෂාවෙන් අධික ලෙස ජීවිත හානි සිදු වූයේ ගංවතුර නිසාවෙන් නොව නායයෑම් වලට හසු වීම නිසාවෙනි. ඊට ප්‍රධාන හේතුව වන්නේ ගංවතුර දැමීමේදී ජල කද තරමක් සෙමින් ගොඩබිම ආක්‍රමණය කරන නමුත් නායයෑමකදී එකවරම කදුකරය බෑවුම දෙසට ඒම නිසාවෙනි.

කෙසේ නමුත් එලෙස එකවර නායයෑමට අවම පැය කිහිපයකට පමණවත් පෙර සිට යම් යම් සුළු අනතුරු ඇගවීම් පරිසරය විසින් අපට දෙනු ලබයි. නිවෙස් වල බිත්ති හා පොළොව අතර ස්ථරයෙන් මඩ වතුර ගලා ඒම නායයෑමේ මූලික අනතුරු ඇගවීමේ ලක්ෂණයකි.

පරිසරයෙන් ලබාදෙන ස්වභාවික අනතුරු ඇගවීම් වලට අමතරව රජයේ වගකිව යුතු ආයතන මගින් නායයෑමේ අවධානම් ඇති පෙදෙස් වල ජනතාවට රතු නිවේදන නිකුත් කර ඇති නමුත් බොහෝ දෙනා එම අනතුරු ඇගවීම් මායිම් කර නැත. එම පෙදෙස් වල ජනයා ඒවා නොසලකා හැරීමෙන් වැළකී ආරක්ෂිත ස්ථාන වලට කල් වේලා ඇතුව ගොසින් සිටියා නම් හානි වූ ජීවිත ප්‍රමාණයෙන් හරි අඩක්ම සුරැකෙන්නට ඉඩ තිබුණි.

නායයෑමේ සම්භාවිතාව පොළොවේ ස්ථායි බව මත රදා පවතියි. කදුකර පෙදෙස් ස්වභාවයෙන්ම තැනිතලා බිම් වලට සාපේක්ෂව ස්ථායි බවින් අඩු අතර එම පෙදෙස් වල ගස් කැපීම, යටිබෝග වගාවන් විනාශ කිරීම සහ අනවසර ඉදිකිරීම් සිදුකිරීම වැනි අහිතකර ක්‍රියාවන් නිසා එම භූමියේ ස්ථායිතාවය තව දුරටත් පහළ බසියි.

කදුකර ප්‍රදේශ වලට සංක්‍රමණය වී ජනාවාස තනා ගැනීම ස්වභාව ධර්මයට එරෙහිව යාමට ගන්නා උත්සාහයකි. සැබවින්ම කදුකර ප්‍රදේශවල පවතින ජෛවීයභාවය වෙනස් කොට කදු මුදුන්වල ඉදි කෙරෙන නිවාඩු නිකේතන ඇතුළු නුදුසුදු හා අනාරක්ෂිත ඉදිකිරීම් සුදුසු නොවේ.

ඒ ආකාරයට වැඩි වශයෙන්ම නායයෑම් වාර්තා වූයේ මධ්‍යම කදුකරය ආශ්‍රිතවය. මාතලේ, මහනුවර, මන්දාරම් නුවර යන ප්‍රදේශ වලට එයින් දැඩි ලෙස හානි සිදු විය. 

ඊට අමතරව වැලිමඩ, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල ඇතුළු තවත් දිස්ත්‍රික්ක ගණනාවක් විශාල පරිමාණයේ නායයෑම් වලට භාජනය විය.

මන්දාරම් නුවර, තුල්හිරිය මොන්රෝවියා කන්ද, නුවරඑළියේ ගැරඩි ඇල්ල පෙදෙස, යහන්ගල කන්ද, අරණායක ඇතුළු නම් නොකළ ස්ථාන ගණනාවක් සිතීමටවත් නොහැකි ආකාරයේ අති විශාල නායයෑම් වලට ලක් වී ඇත.

නාය යෑමට ලක් වුණු ඇතැම් ස්ථානවල මිනිස් සලකුණක්වත් නැත. මිනිසා පරිසරය යට කොටගෙන නැගී සිටීමට ගත් උත්සහයේදී පරිසරය විසින් මිනිසා පාගා දමා නැගී සිට ඇත. කාලය ආපහු හැරවීමට අපට හැකියාවක් නොමැත. මේ වන විටත් බොහෝ දෙනාට තම පවුලේ සාමාජිකයින්, සුරතලුන්, දේපල, යාන වාහන, මිල මුදල් ඇතුළු බොහෝ දේ අහිමි වී හමාරය. 

ඉතින් මතු අනාගතයේ මෙවන් ව්‍යසනයක් ඇති වුණහොත් පෙර සිටම අනාරක්ෂිත ස්ථාන වල ඉදි කිරීම් නොකර සිටීමත්, රජයේ වගකිව යුතු ආයතන වලින් ලබාදෙන පෙර අනතුරු ඇගවීම් වලට සූදානම්ව ආරක්ෂිත ක්‍රියා පටිපාටීන් අනුගමනය කිරීමත් මගින් ජීවිත හා දේපළ හානි අවම කර ගැනීමටත් කටයුතු කිරීම දැන් අපට කළ හැකි එකම දෙයයි.

- ආලෝකා සයුරංගි -

Comments